Monday, February 26, 2018

දුවන බාබර්

     අද කාලේ නම් බාබර්ලා නෑ, ඒ වෙනුවට ඉන්නෙ Hairdresser ලා . නම විතරක් නෙවෙයි Quality යත් වැඩිවෙලා,රැකියාවට තිබුණ තැනත් වැඩිවෙලා. වගේම අය කරන ගාණත් වැඩිවෙලා.ඒ වගේම සැලෝන් කියන්නේ කොල්ලන්ට කාලේ කන්න තියෙන මරු තැනක්. ඒ නිසාමයි සැලෝන් එක්ක පොඩි පොඩි උප සංස්කෘති හැදිල තියෙන්නෙත්.මේ කියන්නේ ඒවා ගැන නම් නෙවෙයි.
  පුද්ගලිකව මට බාබර් කෙනෙක් ගැන තියෙන පරණම මතකය තමයි අපි පොඩි කාලේ අපේ ගම්වල සැරිසරපු ජංගම බාබර්. මිනිහට දුවන බාබර්  කියන නම දැම්මෙ අපෙ තාත්තා. කතුර, ප්ලාස්ටික් බෝල් එකක් අාදි අඩු වැඩිය දමා ගත්තු පන් මල්ලක් එක්ක මනුස්සයා ඒ කාලේ සුලබ දර්ශනයක්.  මේ කාලෙට මේ ගමේ මේ පැත්තට යන්ඩ ඕනෙ , අර ගමේ අර කොටසට යන්ඩ ඕනෙ කියන සරල ගණිත කර්මය මෑන් දැනන් හිටියා. පොඩි ළමයි අරන් පැය ගාණන් බාබර් සාප්පු වල වාත වෙන ගෑණු උදවියට අපේ දුවන බාබර් කියන්නෙ ඉටු දෙවියෙක්.(දැන් බාබර් සාප්පු නෑ salon තියෙන්නේ හරි). වැඩේ කියන්නෙ මෑන් දැනගෙන හිටියෙ කට් දෙකයි. කොල්ලන්ට එකයි, කෙල්ලන්⁣ට එකයි. ඒ හින්දම මිනිහගේ service එක හම්බ වුනේ ඒ කාලේ පොඩිහිටියො වෙච්ච අපිට තමයි.  කොණ්ඩය කපලා ඉවරවුනාම පොඩි ගාණක් කපා ගන්න දුවන බාබර්ගෙන් දේශපාලකයන්ගෙන් වෙනවට වඩා සේවයක් අපේ පැත්තෙ දුප්පත් මිනිස්සුන්ට වුනා කිව්වොත් වැරද්දක් නෑ.
   බාබර් කෙනක් ගැන තියෙන දෙවෙනි මතකය තමයි අලලපු ගමේ දෙමළ මනස්සයෙක් දාලා තිබුණ සැලොන් එක. මිනිහා අතින් දවසක් මගේ කණත් පොඩ්ඩක් කැපුණා.ඊටත් පසසෙ කාලෙක මිනිහා ගාවට රුපියල් දහයකුත් අරන් ගියා කොණ්ඩෙ කපන්න. බලද්දි ගාන 15යි. දෙන්නම් කාසි වලට කොණ්ඩෙ කැපුවයි කියමුකො ටික දවසකින් ඒ මනුස්සයා මැරුනා.තාමත් රුපියල් පහක් ණයයි.
   තුන්වෙනි මතකය තමයි නුවර ටවුන් එකේ තියෙන salon handsome එක.ඕකේ කොණ්ඩෙ කපන්න ගියාම කලින් appointment දාලා ගියෙ නැත්නම් පැය දෙකක් විතර පුටු රත් කරන්ඩ වෙනවා. ඉස්කෝලේ යන කාලේ දවසක principal මාව අල්ල ගත්තා කොණ්ඩෙ දිග වැඩිකමට.අල්ලගත්ත මදිවට මනුස්සයා සල්ලි දෙන්න හදනවා කොණ්ඩෙ කපන් වරෙන් කියලා. වීදී නාට්‍ය කණ්ඩායමේ ඉන්නවා ඒකයි කොණ්ඩෙ වවන්නෙ කියල බේරෙන්න හැදුවත් හරි ගියේ නෑ.මම සල්ලි එපා සෑර් කියල කොණ්ඩෙ කපාගෙන එන්ඩ handsome එකට ගියා. සැලෝන් එකේ උන් දැන ගත්තා උදේ නවයට විතර uniform එකෙන් කොණ්ඩෙ කපන්න එද්දි මූ ඉස්කෝලේන් එලවල තමයි කියලා. මූ කොණ්ඩෙ කපලා දැම්මා කොටටම.

   දැන් වයස තිහත් වෙලා.සැලෝන් යන්න වෙලාවකුත් නෑ. ගියත් වැඩිය කැටයම් දාන්නෙත් නෑ කොණ්ඩෙ පොඩ්ඩක් අඩු කරන් දුවන් එනවා.හඳත් පොඩ්ඩක් මෝදුවීගෙන එනව වගේ. දත් තියෙන කාලේ උක් කන්න ඕනේ වගේ කොණ්ඩෙ හරියට තියෙන කාලේ දාන සෙල්ලමක් දාන්නත් ඕනේ. එහෙම නැති උන්  වයසට යද්දි තරුණ කොල්ලන්ගේ hair styles වලට අාඬපාලි කියනවා. කුඩු කාරයෝ ගංජා කාරයෝ කියනවා.කොණ්ඩෙ වැවීම කියන්නේ art එකක්. අපේ රටේ උන් ආර්ට් දන්නෙ නෑ. තමන් කොණ්ඩෙ කපනවා නම් අනෙක් උනුත් කපලා ඉන්න ඕනේ.ඒක තමයි මතය.

3 comments: