Monday, February 26, 2018

දුවන බාබර්

     අද කාලේ නම් බාබර්ලා නෑ, ඒ වෙනුවට ඉන්නෙ Hairdresser ලා . නම විතරක් නෙවෙයි Quality යත් වැඩිවෙලා,රැකියාවට තිබුණ තැනත් වැඩිවෙලා. වගේම අය කරන ගාණත් වැඩිවෙලා.ඒ වගේම සැලෝන් කියන්නේ කොල්ලන්ට කාලේ කන්න තියෙන මරු තැනක්. ඒ නිසාමයි සැලෝන් එක්ක පොඩි පොඩි උප සංස්කෘති හැදිල තියෙන්නෙත්.මේ කියන්නේ ඒවා ගැන නම් නෙවෙයි.
  පුද්ගලිකව මට බාබර් කෙනෙක් ගැන තියෙන පරණම මතකය තමයි අපි පොඩි කාලේ අපේ ගම්වල සැරිසරපු ජංගම බාබර්. මිනිහට දුවන බාබර්  කියන නම දැම්මෙ අපෙ තාත්තා. කතුර, ප්ලාස්ටික් බෝල් එකක් අාදි අඩු වැඩිය දමා ගත්තු පන් මල්ලක් එක්ක මනුස්සයා ඒ කාලේ සුලබ දර්ශනයක්.  මේ කාලෙට මේ ගමේ මේ පැත්තට යන්ඩ ඕනෙ , අර ගමේ අර කොටසට යන්ඩ ඕනෙ කියන සරල ගණිත කර්මය මෑන් දැනන් හිටියා. පොඩි ළමයි අරන් පැය ගාණන් බාබර් සාප්පු වල වාත වෙන ගෑණු උදවියට අපේ දුවන බාබර් කියන්නෙ ඉටු දෙවියෙක්.(දැන් බාබර් සාප්පු නෑ salon තියෙන්නේ හරි). වැඩේ කියන්නෙ මෑන් දැනගෙන හිටියෙ කට් දෙකයි. කොල්ලන්ට එකයි, කෙල්ලන්⁣ට එකයි. ඒ හින්දම මිනිහගේ service එක හම්බ වුනේ ඒ කාලේ පොඩිහිටියො වෙච්ච අපිට තමයි.  කොණ්ඩය කපලා ඉවරවුනාම පොඩි ගාණක් කපා ගන්න දුවන බාබර්ගෙන් දේශපාලකයන්ගෙන් වෙනවට වඩා සේවයක් අපේ පැත්තෙ දුප්පත් මිනිස්සුන්ට වුනා කිව්වොත් වැරද්දක් නෑ.
   බාබර් කෙනක් ගැන තියෙන දෙවෙනි මතකය තමයි අලලපු ගමේ දෙමළ මනස්සයෙක් දාලා තිබුණ සැලොන් එක. මිනිහා අතින් දවසක් මගේ කණත් පොඩ්ඩක් කැපුණා.ඊටත් පසසෙ කාලෙක මිනිහා ගාවට රුපියල් දහයකුත් අරන් ගියා කොණ්ඩෙ කපන්න. බලද්දි ගාන 15යි. දෙන්නම් කාසි වලට කොණ්ඩෙ කැපුවයි කියමුකො ටික දවසකින් ඒ මනුස්සයා මැරුනා.තාමත් රුපියල් පහක් ණයයි.
   තුන්වෙනි මතකය තමයි නුවර ටවුන් එකේ තියෙන salon handsome එක.ඕකේ කොණ්ඩෙ කපන්න ගියාම කලින් appointment දාලා ගියෙ නැත්නම් පැය දෙකක් විතර පුටු රත් කරන්ඩ වෙනවා. ඉස්කෝලේ යන කාලේ දවසක principal මාව අල්ල ගත්තා කොණ්ඩෙ දිග වැඩිකමට.අල්ලගත්ත මදිවට මනුස්සයා සල්ලි දෙන්න හදනවා කොණ්ඩෙ කපන් වරෙන් කියලා. වීදී නාට්‍ය කණ්ඩායමේ ඉන්නවා ඒකයි කොණ්ඩෙ වවන්නෙ කියල බේරෙන්න හැදුවත් හරි ගියේ නෑ.මම සල්ලි එපා සෑර් කියල කොණ්ඩෙ කපාගෙන එන්ඩ handsome එකට ගියා. සැලෝන් එකේ උන් දැන ගත්තා උදේ නවයට විතර uniform එකෙන් කොණ්ඩෙ කපන්න එද්දි මූ ඉස්කෝලේන් එලවල තමයි කියලා. මූ කොණ්ඩෙ කපලා දැම්මා කොටටම.

   දැන් වයස තිහත් වෙලා.සැලෝන් යන්න වෙලාවකුත් නෑ. ගියත් වැඩිය කැටයම් දාන්නෙත් නෑ කොණ්ඩෙ පොඩ්ඩක් අඩු කරන් දුවන් එනවා.හඳත් පොඩ්ඩක් මෝදුවීගෙන එනව වගේ. දත් තියෙන කාලේ උක් කන්න ඕනේ වගේ කොණ්ඩෙ හරියට තියෙන කාලේ දාන සෙල්ලමක් දාන්නත් ඕනේ. එහෙම නැති උන්  වයසට යද්දි තරුණ කොල්ලන්ගේ hair styles වලට අාඬපාලි කියනවා. කුඩු කාරයෝ ගංජා කාරයෝ කියනවා.කොණ්ඩෙ වැවීම කියන්නේ art එකක්. අපේ රටේ උන් ආර්ට් දන්නෙ නෑ. තමන් කොණ්ඩෙ කපනවා නම් අනෙක් උනුත් කපලා ඉන්න ඕනේ.ඒක තමයි මතය.

Sunday, February 25, 2018

කොටි නැඟිටීම සහ ඇමෙරිකානුවා

ඇමෙරිකාවට යම් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීම කලෙකදී ඇමෙරිකානුවන්ගේ අවිඥානික ආශාව විය.

The Independence Day, Godzila වැනි චිත්‍රපට රැල්ලක් මඟින් එකල ඇමෙරිකාවට එල්ල වන අදිසි ප්‍රහාර පිළිබඳ නිර්මාණය විය.

2001-09-11 ඇමෙරිකානුවාගේ අවිඥානික ආශාව තෘප්ත විය.දැන් ඒ අශාව තවදුරටත් ආශාවක් නොවේ.සමහරු එය inside job එකක් යැයි කියති, inside වුවද outside වුවද ඇමෙරිකානුවා තවමත් ආශාවේ මිල ගෙවමින් සිටී

ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ බහුතරයකගේ අවිඥානික ආශාව කොටි නැඟිටීමයි. බොහෝ දේ පිටුපස කොටි සෙවනැල්ලක් දැකීමට ඔවුන් ආශා කරති.අවේලාවක රතිඤ්ඤයක් පිපුරුවද එය කොටි නැඟිටීමක් යැයි සිතීමට දඟලති.මතක තබා ගන්න සෑම ආශාවක්ම ඉටු නොවී පවතින්නේ නැත.

Be careful what you wish for,  you just might get it.

Wednesday, February 21, 2018

Office එකේදිම වශී ගුරුකමක් කරගමු

ඔබේ සිත ගන්නා යුවතිය ඔබ අසලමද? අහන්නට ගටක් නැද්ද? මෙන්න ක්‍රමය. On the spot හරි යෑම. හරි ගිය පසු නොගෙවන්න.

අවශ්‍ය ද්‍රව්‍ය :
   බිස්කට් පැකට් එකක් වුව ද සෑහේ.
   අයිසින් කේක් එකක් නම් ඉස්තරම්ය.

ක්‍රමය:
ඔබ සිත් ගත් යුවතිය වෙත දින දෙක තුනක් බැල්මට් එක දමන්න. ඇයට ඔබ මනාප බව අඟවන්න.ඊට පළමුව ඔබ වශී ගුරුකමක් කරන්නේ කෙල්ලෙක් ළඟට ගියවිට කකුල් දෙක වෙව්ලන නිසා බව මතක තබා ගන්න.
දැන් ඔබගේ මිතුරු සමාගමට ඇය හෝ ඇයගේ මිතුරු සමාගමට ඔබ ඈඳෙන්න. මිතුරන් එක්වූ වෙලාවක ගෙනා බිස්කට් පැකට්ටුව හෝ කේක්  එක සතුටින් ආහාරයට ගන්න.දැන් වශීයෙන් 50% ක් අවසන්ය. ඇයට පමණක් බිස්කට් හෝ කේක් එක සංග්‍රහයට එකතු කර ගත හැකි නම් ඉක්මන් ප්‍රතිඵල ලැබෙන බවත් සළකන්න.

දවසක් පමණ ඉවසන්න.

දවසකට පසු office එකේ හොඳ චීත්තයක් සමඟ වශී කවන ලද බිස්කට් එකක් අහවල් යුවතියට කවපු බවට පවසන්න.
දැන් ඔබේ වැඩ කොටස අහවරය.
හැරෙන තැපෑලෙන් ඇය විස්තරේ දැන ගනු ඇත. ඇයට ඔබ ගැන කැමැත්තක් තිබුණා හෝ නැතා ඇය ඔබ ගැන මින් පසු හොඳ හෝ නරකට interest වනු ඇත.
බැරි වීමකින් හෝ ඇය ගුරුකම්, දෙවියන්- භූතයන්, හදි හූනියම්  පිළිනොගන්නා යුවතියක් නම් වැඩේ සිදු නොවනු ඇත.( මෙහේ ඉන්න තරමක් සිටින්නේ කේප්ප වස්සන් හා වැස්සියන් බැවින් කණගාටුවට කාරණයක්  කිසිසේත්ම නැත, කිරිගහට කවකට්ටෙන් ඇන්නා සේ වැඩේ හරියනු ඇත)

ප.ලි

වශී ගුරුකම් පිටුපස ඇත්තේ මානසික මෙව්වා එකකි. කෙල්ලකගෙන්  සබඳතාවයක්  පිළිබඳව විමසීමට බය ඇති කොල්ලන්ට එමඟින් පොඩි මොරාල් එකක් සපයයි.ඔබට කිසිම දිනෙක වශීයකින් ඇන්ජලිනා ජොලී හෝ  දීපිකා පදුකෝන් වසඟයට ගත නොහැක. ඈත මෑත සිටිනා ලලනාවක් නම් සමහර විටෙක ok කරගත හැකිවනු ඇත. එය වන්නේ මෙසේය . ඔය වශී ගුරුකම් බොහෝමයකට අදාල ගැහැනියට හෝ පිරිමියාට එක්කෝ යම් කෑමක් දිය යුතුය, සමහර එවුන් ඇය හෝ ඔහු ගේ ඇදුමක නූලක්  හෝ කෙස් ගසක්ඉල්ලයි. ඉතින් ඔබ නොහදුනනා කෙනෙකුට කෑමක් දීමේ හැකියාව විරලය. අනිවාර්යයෙන්ම ඊට පෙර හඳුනාගෙන කතාබහ කර තිබිය යුතුයි ,ඇඳුමක නූලක් හෝ කෙස් ගසක් ගැනීමද එසේමය.එසේනම් ඔබ වශී ගුරුකම කරන්නේ දැනටමත් හඳුනන කතා බහක යෙදෙන කෙනෙක්ටය. ඉතින් අදාල ගුරුක⁣ම (බොරුව) කර පසු ඔබට දැන් හරි යන මොරාල් එක ලැබෙනු ඇත. මොරාල් පිට ගොනා සේ ගිහින් යාළු වීමට අසනු ඇත. දැනටමත් ඔබව යම් තරමකට හඳුනන ඇය/ඔහු එක්කො කැමති හෝ අකැමැති වනු ඇත .එහි අමුතුවෙන් ඇති හාස්කමක් නැත.50-50 චාන්ස් එකකි.ගියොත් වචනයකි ආවොත් කෑල්ලකි  කියන්නේ මේවාටය.ඔය වශී ගුරුකම් සැබෑ නම් දේවාල කපුවන් කල්ලු මලයාල ගුරුන් ලොන් හැලුනු ගෑණු සමඟ සිටින්නේ නැත.

ප.ප.ලි
ඔබගේ  බොස් කාන්තාවක් නම් ඇයට ඕවා කර ලැබෙන් ප්‍රතිඵල වලට වග කියනු නොලැබේ

Saturday, February 3, 2018

සුද්දා දීපු නිදහස

(Facebook තැබූ සටහනක්)

නිදහස් සටනක් කරලා නිදහස දිනා ගත්තේ ඉන්දියානුවන්. හැබැයි ඒකේ හිලව්වට ඉන්දියාව තුනකට කැඩුනා. අපේ රටෙත් ගොඩක් මිනිස්සු හිතන් ඉන්නවා අපි නිදහස් ගත්තේ සටන් කරල කියල. නෑ අපිට නිදහස් සටනක් කියල එකක් තිබුණේ නෑ ඒ වෙද්දි.කලින් තිබුණා ගොන්ගාලේගොඩ බණ්ඩා , පුරන්අප්පු ලා සටනක් කරා තමයි. ඒවත් නිදහස් සටන් වලට වඩා තමන් නැවතත් රජ වෙන්න හිතන් කරපු සටන්. මිනිස්සුන්ගෙන් ඒ හැටි අනුග්රහයක් නොලැබෙන්න හේතුවත් ඒක වෙන්න ඇති. 

  රජ කාලේ තමන්ව පා⁣ගා ගෙන හිටිය පාලනයකට වඩා සුද්දගෙන් සාපේක්ෂව නිදහසක් ලැබුණා. තවදුරටත්  තමන්ගේ ලස්සන දුවව බිරිඳව කොල්ල කන්න ගමේ ආරච්චිලාගේ පටන් රජ්ජුරුවෝ වෙනකල් තිබ්බ බලය නැතිවුණා. තමන්ගේ ගෙදර හුණු ටිකක් ගාන්න වහලක් තමන් කැමති විදියට හදා ගන්නවත් නිදහසක් අඩුම තරමේ හම්බ වුනා. රටේ රජ්ජුරුවන්ගේ තීරණය අවසන් තීරණය වුනේ නෑ. විදිමත් නීතී පද්ධතියක් ලැබුණා.ඒ හැමදේටමත් වඩා වටින්නේ ශ්රී ලාංකේය වහල්භාවය හෙවත් රාජකාරී ක්රමය නැතිවුණා.ඊ⁣ට පස්සෙ කාටවත් තමන්ගේ කුලය අනුව බැල මෙහෙවර කම් කරන්න ඕනේ උනේ නෑ. ඉගෙන ගෙන රැකියාවක් කරන්නට ඉඩ ප්රස්ථාව ලැබුණා. ඇයි ගැහැනුන්ට? ඉහළම කුල දෙක තුන විතරක් උඩු කය වසා සිටි ක්රමය වෙනුවට (පහළම කුලයක් උනත් රොඩි කුල ගැහැනු උඩු කය වසා සිටියේ) ඇදුම් ඇඳිමේ නිදහස පවා ලැබුණේ සුද්ද ආවාට පස්සෙ තමයි. බලන් ගියාම හිරකරගෙන වහල්ලු කරගෙන හිටිය රටකට නිදහස ලැබිල තියෙන්නේ සුද්දගෙන්.