Wednesday, January 17, 2018

2020 ජනාධිපතිවරණය ට පෙරවදනක්

  තව වසර දෙකකින් පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් දැන් සිටම කඳවුරු බැඳ ගන්නා අයුරු මේ දිනවල දේශපාලන පොරපිටිය දෙස මඳ අවධානයක් යොමු කළහොත් දැක ගත හැකිය. මොහොතකට දැන පවතින දේශපාලන තත්ත්වය මඳක් විග්‍රහ කර බලමු.
     මහින්ද රාජපක්ෂ පෙරට ගත් ඒකාබද්ධ විපක්ෂයේ පොහොට්ටු කණ්ඩායමට මහින්ද රාජපක්ෂ නාමය තොරොම්බල් කරනවා හැර නිශ්චිත දේශපාලන වැඩ පිළිවෙලක් නැත.කුප්‍රකට බැදුම්කර වංචාව, රණවිරු දඩයම වැනි කාරණා හැර වෙන යමක් ඔවුන්ගේ දේශපාලන වේදිකාව තුළින් ඇසෙන්නට නොමැත. රෝහිත අබේගුණවර්ධන , මහින්දානන්ද අලුත්ගම වැනි දූෂිත චරිත දූෂණ වලට එරෙහි කතා කරනා ⁣රටක් බවට පත් වීමම රට මුහුණ දී තිබෙනා අර්බුදය මනාව පිළිඹිබු කරයි.පහු ගිය ජනාධිපතිවරණෙදි ලබාගත් චන්ද ලක්ෂ 58, සහ ඊට පසුව පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලක්ෂ 47ක් වූ චන්ද ප්‍රමාණය රැක ගැනීම ඔවුන්ට ඇති ⁣විශාලම අභියෝගයයි. මතක තබා ගත යුතුයි ඔවුන් ලක්ෂ 47 ලබා ගන්නා විට මෛත්‍රී පාර්ශවයෙන් ඉදිරිපත් වූ අපේකෂකයන්ද ඔවුන් සමඟ සිටි බව සහ මැතිවරණයෙන් අනතුරුව සැළකිය යුතු ප්‍රමාණයක් මෛත්‍රී ජනපති සමඟ එක් වූ බවටත්. මෙම මැතිවරණයෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ පාර්ශවය ඔවුන්ගේ ශක්‍යතාවය බොහෝවිට තේරුම් ගනු ඇත. යම් විටෙකින් ඔවුන් මෛත්‍රී පාර්ශවය වන එක්සත් ජනතා නිදහස් සංධානය ඉක්මවා චන්ද ප්‍රමාණයක් ලබා ගතහොත් ඉදිරි දේශපාලන පොරපිටිය සම්පූර්ණයෙන්ම වෙනස් වනු ඇත.  මෙය ඉතා හොඳින් අවබෝධ කරගත් මෛත්‍රී දැන් දැන් දැඩි එජාප විරෝධයක් ආරම්භ කර ඇත. සාම්ප්‍රදායික නිදහස් පක්ෂ චන්ද තමා වෙත ආකර්ශනය කර ගැනීමට ගැසූ ගැටයක් බවට මෙය ඉතා පැහැදිලිය. අතරමං වී සිටි නිදහස් පාක්ෂිකයන්ට මෛත්‍රී ජනපතිගේ මෙම විපර්යාසය යම් ආශ්වාදයක් ගෙන දෙන බවට සැකයක් නැත. තම අසාහය නායකයා පරාජය කර ජනෙල් පඩියක් මතට නැංවූ මෛත්‍රී වෙත ඔවුන් නැවතත් ආකර්ශනය විය නොහැක්කක් බව මෛත්‍රී පෙබරවාරි 11වන දින තේරුම් ගනු ඇත. තමාද ඇතුලත් වූ මහින්ද ආණ්ඩු මඟින් දේවත්වයට නැඟු රාජපක්ෂ උන්මාදය නිදහස් පාක්ෂිකයන්ගේ ඔලුවලින් සෝදා දැම්මට තවත් වසර කීපයක් යනු ඇත. මෙම මැතිවරණයෙන් මෛත්‍රී පිල සහ මහින්ද පිල දෙවන ස්ථානය රැක ගන්නා සටනකි.මෛත්‍රීගේ හදිසි එජාප විරෝධෙය සාර්ථකත්වය අසාර්ථකත්වය පෙබරවාරි 11 වනදාට  බලාගත හැකි වනු ඇත. එජාපය දෙස බැලුවහොත් කුප්‍රකට බැදුම්කර චෝදනාව එජාප පාක්ෂිකයන් අධෛර්යමත් කරනවාට කිසිම සැකයක් නැත. නමුත් නිදහස් පක්ෂය පාර්ශව දෙකක් ලෙස ඉදිරිපත් වීමෙන් ඇතිවන වාසිය ඔවුන් නිතරඟ ජයග්‍රහකයෙක් කරනු ඇත. ඔවුන් ලබා ගත හැකි අවම චන්ද ප්‍රමාණය 2010 වසරේ ලබා ගත් බව මගේ පුද්ගලික මතයයි. ඔවුන් කිසිසේත්ම ඊට අඩු චන්ද ප්‍රමාණය ලබා නොගනු ඇත. එය ඔවුන්ගේ බැතිමත් එජාප පාක්ෂික චන්දයයි. බැදුම්කර චෝදනාව හමුවේ පසුබා සිටි එජාප පාක්ෂිකයන් ජනපතිගේ එජාප විරෝධය හමුවේ නැවතත් එජාපය දෙසට යොමුව බව මගේ නිරීක්ෂණයයි. මෙවර මැතිවරණයට චන්දය ප්‍රකාශ කිරිම පිළිබඳ දෙගිඩියාවක සිටි බොහෝ එජාප පාක්ෂිකයන් ජනපතිගේ හදිසි එජාප විරෝධය හමුවේ නැවත ධෛර්යමත් වී ඇති හැඩකි. ජනපතිගේ මෙම හදිසි එජාප විරෝධය එජාප නායකත්වය ද දැනුවත්ව සිදුවන්නා වූ යම් විදියක දේශපාලන game එකක් වීමටද බැරි නැත. ජනපතිගේ මෙමෙ ස්ථාවරයෙන් එජාපයද ගොඩයන අතර මහින්ද පාර්ශවයේ චන්ද ඩැහැගැනීම මඟින් මෛත්‍රී පාර්ශවයද ගොඩ යෑමේ අභිලාෂයක් මෙහි සැඟවී තිබෙන්නට පුලුවන.
ජවිපෙ දෙස බැලූ විට අනුර දිසානායකගේ නූතන දේශපාලන හැසීරම සාම්ප්‍රදායික වාමාංශික දේශපාලන නොවන බොහෝමයක්ගේ ආකර්ශනය දිනාගන්නට සමත් වී ඇත. පැරණි වාමාංශික පක්ෂ ගමන් ගත් මාර්ගයේම ගොස් කෞතුක පක්ෂයක් වනවාට වඩා ඔහුගේ ප්‍රතිසංස්කරණවාදී ලක්ෂණ ජවිපෙ ඉදිරි ගමන් මඟ ශක්තිමත් කරනු ඇත. මෙම මැතිවරණයෙන් ජවිපෙ ලබා ගන්නා චන්ද ප්‍රමාණය ඔවුන්ට ඉතාමත් තීරණාත්මක වනු ඇත. මන්ද මීළඟ ජනාධිපතිවරණය සඳහා මෛත්‍රී නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වනු ඇත. වසර 5කින් සමුගන්නා බව කීවද වර්තමානයේ ඔහු ක්රීඩා කරන ආකාරයට නම් ඔහු මීළඟ මැතිවරණයට ඉදිරිපත් වීම නිසැකය. එජාප ය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ ද ඉදිරිපත් වනු ඇත. ඒකාබද්ධ විපක්ෂය දැනටමත් පවසන පරිදි ඔවුන්ගේ අපේක්ෂාව ගෝඨාභය රාජපක්ෂයි. එවැන් තත්වයක් තුළ අනුර දිසානායක ද ජනාධිපතිවරණයකට ඉදිරිපත් වනු දැකීම මාගේ අපේක්ෂාවයි. තුන්කොන් තරඟයක් වෙනුවට සිව්කොන් තරඟයක් අප රටට අලුත් අත්දැකීමක් මෙන්ම ඔවුන්ට උතුරු නැගැනෙහිර දමිළ චන්ද තීරණාත්මක වනු ඇත. රනිල්  සහ මෛත්‍රී වැනි දේශපාලනයේ තෙම්පරාදු වූ චරිත මෙන්ම තම බල පරාක්‍රමය හමුවේ ඕනෑම ත්‍රස්තවාදී මැර පාලනයක් ගෙන යාමේ ශක්‍යතාවය මැනවින් පෙන්වූ ගෝඨා වැනි චරිතයක්ද හමුවේ  2020දෙයක් කිරීමේ outside chance එකක් අනුරට ඇති බව මම දකිනා නිරීක්ෂණයයි. යම් ලෙසකින් අනුරට දෙමළ  සංධානය සමඟ අවබෝධයක් ගොඩනඟා  ගත හැකිනම් එය සාර්ථක ප්‍රතිඵලයක් ගෙනු දෙනු ඇත. නමුත් ඉතිහාසයට අනුව නම් දෙමළ සංධානය ⁣⁣ගෙන ඇත්තේ එජාපය පැත්තයි. දෙමළ සහ මුස්ලිම් මිනිසුන් ගෝඨාට චන්දය දීමට තරම් අහේනියක් ඔවුන්ට නැත.මෛත්‍රීගේ ඉදිරි වසර දෙකකටආසන්න කාලය තුළ ක්‍රියාකාරකම් ඔහුගේ ඉදිරි දේශපාලනයේ දිග පළල තීරණය කරනු ඇත. යම් හෙයකින් ඔහුට රාජපක්ෂලාට ඇති දූෂණ චෝදනා විමර්ශනය කරන්නට හැකි වුනොත් දෙවන වරටත් ජනපති වීමේ සිහිනය සිහිනයක් නොවනු ඇත.
   පෙබරවාරි 10 න් පසුව මෙරට දේශපාලන කාඩ් කුට්ටම පෙර නොවූ පරිදි වෙනස් වනු ඇත. තුරුම්පු අතේ ඇත්තා නොව මොළය වෙහෙසවන්නාට මාර්ගය විවර වනු ඇත.

Monday, January 8, 2018

අසරණී

  සිරුරට කිසිම ගැළපීමක් නැති, වැඩිහිටි සහෝදරියකගේ ඇඳුමකින් හෝ කාගෙන් හෝ ලැබුණු පාසල් නිල ඇඳමකින් සැරසී,  සපත්තු වෙනුවට නිරුවත් පයෙන් ගිනි දැවෙන තාර පාරේ  ගිනි ගහන කාෂ්ටක අව්වේ ඇවිදින දුප්පත් ළමුන් මම දැක ඇත්තෙම්. ඔවුන් සමඟ මම එකට ඉගෙන ගෙන ඇත්තෙමි. අදටත් එවැන් ළමුන් අප රටේ ඕනෑ තරම් සිටිනා බවද දනිමි. මෙහි තිබෙනා ජායාරූපය මට එක්තරා සිදුවීමක් මතක් කරයි.

   ඒ 1995 වසරයි. මම දෙක වසරේ විය. විවේකයට   පිට්ටනිය දෙක කරන කොලු පැටව් අතරේ මමද එකෙකි. පිටිටනිය අද්දර කුඩා බැම්මක වාඩිවී සිටි අප පන්තියේම සිසිවියක මගේ නෙතු ගැටුණි. ශරීර කූඩුව තරම් දෙකක් වූ පාසල් නිල ඇඳුම ඇඳ නිරුවත් පයෙන් සිටි ඇය සැබවින්ම යට ඇඳුමක් රහිතව සිටින්නට විය. මෑත් වූ දෙපයට ඇගේ නිරුවත දිස් වූ අතර ඊට වසර විස්සකටත් පසු එම සිදුවීම මතක් වන වාරයක් පාසා එම සිසුවිය පිළිබඳ අනුකම්පවක් මගේ සිතේ ඇතිවේ. දැන් ඇය  ළමුන් දෙතුන් දෙදෙනෙක් සිටිනා වයස තිහක පමණ ගැහැණියක වන්නට ඉඩ ඇත. එවැනි අතීතයක් ඇයටද අමතක වන්නට තරම් කල් ගතවී ඇත. තවමත් ⁣මේ දූපතේ ඇය වැනි දැරිවියන් සිටිනා බවටද සැක නැත.
  තවත් දිනෙක දෙකේ පන්තියේ සිසිවයකට වැසිකිළි යෑමට අවශ්‍යතාවකට කැලේට යාමට සිදුවිය. (එවැනි අවශ්‍යතා සපුරා ගැනීමට තරම් පහසුකම් එහි නොවුණි. ගුරුවරුන් සඳහා වෙන් කර තිබූ වැසිකිළිද උතුරා ගොස් තිබූ බව දිනක් පන්දුවක් ඇහිලීමට යැමේදි දුටු අතර පන්දුව වැසිකිළි ඇතුළත පාවෙමින් තිබුණි. ගුරුවරියන් තම වැසිකිළි අවශ්‍යතා වෙනුවට ගුරු නිවාසයට යනවා වන්නට ඇත. )මිතුරකු සමඟින් පිට්ටනියට යමින් සිටි මා දුටුවේ පාසල් ක්රීඩා සමයට හාරා තිබූ ඒ වනවිට වතුර පිරී තිබුණ උස-දුර පැනීමට සාදා තිබුණ වලෙන් එම සිසුවිය පසුපස සෝදන අයුරුයි. ළමුන් තම දවසින් 1/4 ක් කාලය ගෙවා දමන පාසල් බොහෝමයක් තුළ අදටද නියමිත වැසිකිළි පහසුකම් නැත. ළමුන් වෙනුවෙන් ඒවාට හඬක් නඟන්නට ගුරුවරුන්ද නැත.

Friday, January 5, 2018

බුදුන් උපන්නේ ලංකවෙද

මෙය කොසොල් රජු දුටු දාහත්වන සිහිනයයි සිහින 16 ක් ප්‍රකට වන අතර මෙය අප්‍රකට 17වන සිහිනයයි. (Day Dreams Updated Version)

 
කොසොල් රජතුමා නින්දේදී සිහින 17 ක් දක්නා ලදී.ඈපා පාංචාංග ලිතේ හූනූ පලාඵල මිසක් හීන පලාඵල නැතැයි දැනගත් රජු හීන විසඳමට පුරෝහිතයන් අැතුළත් ජනාධිපති කොමිසමක් පත් කරනා ලද්දේය.  උදේ ඉඳන් රෑ වෙනකන් අන්තපුර ළඳුන් ගේ  සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය කොරනවා හැර වෙන යමක් නොකරනා රජා දකින ගොන් හීන විසඳීම මොන කෙසෙල් පුෂ්පයක් දැයි සිතූ ඒකාබද්ධ පුරෝහිත කණ්ඩායම හීන විසඳන්නේ නැතැයි දැඩි වෘත්තිය ක්‍රියා මාර්ගයකට එළඹෙන ලදි. මාසේ අවසානයේ ලීසිං ගෙවා ගනු බැරිව වෘත්තිය ක්‍රියා මාර්ගය අවසන් වන බව ටක්කෙටම දන්නා කොසොල් රජු හීන කතන්දර ටික විසඳීමට බුදුන් වහන්සේට transfer කරන ලද්දාය.  හරකා හැරෙන්නේ ඩෙල්ටා ටොෆීයක් කා ටොෆී කොළය අඩියක් අදින්නට නොවන බව දැනගත් උන්නාන්සේ දේවදත්තගේ ව්‍යාවස්තා විරෝධය, විශ්වාසභංග ආදී තර්ජන නොතකා රාජකීය හීන විසඳීමට ඉදිරිපත් විය.
  
  භාග්යවතුන් වහන්ස , මා දුටු පළමුවන සින් එක මෙයයි .
කළු පාට ගොනුන් සතර දෙනෙකු සතර දිශාවෙන් ගොන් පොරය සඳහා දූවිලි අවුස්සාගෙන චන්ද පෝස්ටර ගැළවීමට දිව එන මහින්ද දේශප්‍රියානෝ මෙන් අශ්ප වේගයෙන් දිව එනවා . Audience එක ඒ දෙස මහත් වූ උද්යෝගයෙන් ඉරාජ්ගේ music video එකක් බලන්නා සේ සිටී. නමුත් පසුව පොරයට පැමිණි ගොනුන් සතර දෙනා එකවරම ආසන්නයටම පැමිණ නැවතත් ආපසු හැරී පොලිසිය දුටු අන්තරේ සිසුන් මෙන් දිව ගියා. උද්යෝගයෙන් සිටි නරඹන්නන් ගොන් පොරය බලන්නට බැරි වී දුක් වුණා. මට මෙහි තෙරුම හිතා ගන්ට බෑ."

රජතුමනී. මෙය ඔබට හෝ රටට අද හෙට සිදුවන දෙයක් නෙමේ. මෙය සිදුවන්නේ අනාගතයේ දී .අනාගතයේ දී රටේ අධාර්මික පාලකයන් නිසා රටේ දේශගුණයත් ,කාලගුණයත් සම්පූර්ණයෙන් වෙනස් වෙනවා.බ්ලා බ්ලා බ්ලා යැයි පසුවට බණකට දෙසන්නට සිටි යමක් දෙසා සුප් එකයි රැවුලයි දෙකම බේරා ගන්නා ලද්දේය. මේ අකාරයටම location 16ක සිදුවීම් 16 කට පිටිය සිසාරා හරවා හරවා පහර දෙන්නා රෝහිත ෂරමානන් මෙන් උන්නාන්සේද පිළිතුර දෙන්නා වීය.
දෙන්නා වූ පිලිතුරු හා හොඳයි යැයි මුවින් නොබැන පිළිගත්තා වූ king කොසොල්  අවසානයේදී  කඩයිම් ප්‍රශ්නය ඉදිරිපත් කරනා ලද්දාය.

භාග්යවතුන් වහන්ස , මා දුටු දාහත්වන සින්ස් එක මෙයයි .කණ්ඩායම් දෙකකට බෙදුනා වූ මී හරකුන් රෑනක් birth certificate වැනි යමක් ගෙන දෙපසට බෙදී  එක් පිළක් අහසට පිඹිනා එරන් කළේයා කරද්දි අනෙක් පිළ පස්ස බැලුවොත් දෙසඣා යනුවෙන් මොර ගෑවෝය. මෙහි තේරුම කිමැයි යනුවෙන් විමසන්නට විය.

  හීනය ඇසූ උන්නාන්සේට හීන් දාඩිය දමන්නට වූ බැවින් singer එකෙන් ගෙවීමේ ක්‍රමයට ගත්තා වූ 9000btu AC යුනිටයේ ශීතල වැඩි නොකරන්නේ මන්දැයි විමසීය.

  මන් නොව තොට ඕනෑනම් තෝම වැඩි කර ගනින් පැවසූ king කොසොල් රිමෝට් රාජයා උන්වහන්සේ දෙසට ගුවන් ගතකරන්නට විය. දෝතටම පූජා කරන්නා වූ උඩ පන්දු යකපුටින් පවා  යවන්නා සිරි ලංකා ක්‍රිකටර් කෙනෙක් වෙන් රිමෝට් රාජායා අතහැරූ උන්නාන්සේ king කොසොල් ළඟ මෙසේ පැවසීය.

රජතුමනී. මෙය ඔබට හෝ රටට අද හෙට සිදුවන දෙයක් නෙමේ.මෙය සිදුවන්නේ වෙන කවරකටත් නොව මාහටමය  අනාගතයේ මාගේ අනුගාමිකයන් දෙපළට බෙදී මා ඉපදුනේ කොහිදැ,වින්නඹු අම්මා කවරහුදැයි , පෙකනි වැල කැපුවේ කුමකින්දැයි ආදිය තෙපළමින් කාලය කා දමන්නනෝ වම්හ. ඒ මදිවට අඩු තරමේ දකුණු ඉන්දියාව පැත්ත පළාතක වත් පස් නොපෑගු  මා ඔවුන්ගේ දේශයට තෙවරක් පැමිණි බව පවසමින් අහංකාර වන්නෝ වම්හ. පස්වන විධායක රජතුමි තැන්පත් මිහිඳු පර්සි රජපස් මාගේ නෑදෑ සනුහරේ වෙතැයි පූචානම් දොඩති. ඈත දේශයක පිහිටි මක්කම නම් නගරයක මාගෙ පා සටහනක් ඇතැයි නරි වාදම් දෙසති. ඊශ්‍රායලයේ උපන් ජේසුතුමන් මාගේ ගෝලයකියැයි කේශ ධාතූ පැලෙනා තර්ක මතු කරති.
  එබැවින් 17වන සිහින එපිසෝඩය මාධ්‍ය වලට නොදෙන්නාක් මෙන් king කොසොල් ගෙන් අයදින්නට විය. මුවින් නොබැනූ king කොසොල්  අන්තපුර අමාත්‍යාංශය දෙසට පිය නඟන්නට විය...