Sunday, July 30, 2017

හඳට Shortcut

මේක කෙටිම කෙටි සටහනක්.

මේ දවස්වල බුකියේ ගංජා හෙවත් කංසා ගැන පොඩ් සාකච්ඡාවක් යනවනේ. චින්තන ධර්මදාස එහෙම මේ දවස්වල බුකිය පැත්තෙත් කංසා ගැන කතා කරන්ඩ අගෝස්තු 01දා හවස 3ට මහවැලි ශ්‍රවණාගාරයට එන්ඩ කියනවා ඕන්.මේ ගංජා ගැන මම අහපු කතාවක්.

    ශක්‍රයා හැමදාම උදේට මහපොළොවට පොරගෙ බැල්මට් එක දානවලු.(දැන් දාන්නෙ නැතිව ඇති. සන්නස්ගල එයාගේ "ගෙම්බා" පොතෙත් තැනක කියනවා  ශක්‍රයා කියන්නෙ හෙන පැණියය කියල හිටන්)
ඔන්න ඔහොම බැල්මට් එක දාද්දි මිනිහා දකිනවා ⁣sorry ශක්‍රයා දකිනවා එක මිනිහෙක් හැමදාව දවස තිස්සෙම හිනාවෙලා ඉන්නෙ. මූ ඉන්නෙත් පැලක. ශක්‍රයටත් ෆුල් අප්සට් ,ඇයි යකෝ දෙයියොවත් එහෙම ආතල් එකේ නෑනේ..ඊළඟ දවසේ උදේම ශක්‍රයා රබර් ඇහැ දාගෙන බලන් ඉන්නවා අර මෑන්ස් මොනාද කරන්නේ බලන්ඩ. මෑන්ස් උදේම නැගිටිලා එළියට එනවා. ඇවිල්ල මිදුලේ තියෙන මල් ගස් සෙට් එකක් ඉඹගෙන යනවා. වැඩේ මාට්ටු. ශක්‍රයා හැරෙන තැපෑලෙන් මල් පැළයක් අරන් දිව්‍ය ලෝකේට යනවා sorry අන්තරස්දාන වෙනවා. දේව සභාව රැස්වෙලා අයිටම් එක රස බලනවා. සුපිරි. දෙයියන්ටත් ආමේන් කියවෙනවා. Sorry ජය ශ්‍රී කියවෙනවා. අන්තිමට ශක්‍රයා මේ පැලේට නමක් දානවා. ඒ නම තමයි තෛරයිලෝක්‍යවිජයා.ඉතින් දෙයියොත් කංසා උරනවා. අපිත් කංසා උරනවා. අපි උරද්දි හාන්දුරුවොයි ආණ්ඩුවෙ පොලිසියයි එපා කියනවා.

Friday, July 28, 2017

අනාගත ත්‍රස්තවාදී රාජ්‍යයක් උදෙසා

   වාසෙට්ඨ්‍ය සහ භාරද්වාඡ බ්‍රහ්මණයා අතර ජාතිවාදය සම්බන්ධයෙන් යම් විවාදාත්මක ඇතිවිය.එහිදි ගෞතම බුදුන් ජාතිවාදය අරඹයා මෙ⁣ය දේශනා කරන ලදි.

වාසෙට්ඨ්‍ය
තෘණද ,වෘක්ෂද දැනගනුව
ජාතියට අයත් වූ සළකුණු එහි අැත.
පණුවන් ,පතංගයන් හා අනේකවිධ වූ  කුහුඹුවන් දැනගනුව
ජාතියකට අයත්වූ සළකුණු ඇත
උරග ඝනයේ සත්වයන්ද ජලයෙහි වසනා මත්ස්‍යයන්ද අහසෙහි පියඹා යන පක්ෂීන්ද දැනගනුව
ජාතියට අයත් වූ සළකුණු උන් කෙරෙහිද අැත
එහෙත් මිනිසුන් අතර ජාතියට අයත් සළකුණු නැත
මිනිසුන්ගේ කෙස් හිස් ඇස් කණ් කට තොල් බැම යන මේ සම්බන්ධයෙන් එබඳු සළකුණක් නැත්තේමය.
එබැවින් මිනිසුන් එකම ජාතියකි
ඔවුන් අතර වෙනස නමෙන්ම පමණි

-සුත්ත නිපාතය, වාසෙට්ඨ්‍ය සූත්‍රය -
  
සාමාන්‍යයෙන් මම මුහුණුපො⁣තේ සැරිසරන විට ජාතිවාදි පෝස්ටුවක් දුටු සැනින් අදාල fb සාමාජිකයගේ wall එකට යෑමේ පුරුද්දක් ඇත. ඒ හුදෙක්ම කාලකණ්ණි විනෝදයක් ලබා ගැනීමට විනා වෙන යමකට නොවේ.කලකට පෙර මහින්ද අබේසුන්දර ITN විපරම ලියන විටද මම පුරුද්දක් හැටියට  7.25 පමණ වනවිට ITN බැලුවේද එම විනෝදය සඳහාමය.

   බොහෝවිට ජාතිවාදි උන් දෙවර්ගයකි.
        01.පැවැත්ම උදෙසා ජාතිවාදය වපුරන්නන්
        02.මෝඩකමට ජාතිවාදය වපුරන්නන්.

මින් දෙවෙැන්නෝ පළමුවැන්නන්ගෙන් යැපෙන අතර, පළමු වැන්නේ දෙවැන්නන් නිසා ජීවිකාව සරිකර ගනී. මීට සමාන්තරව සියලුම අාකාරයේ ජාතිවාදීන් සිංහල මුස්ලිම් දෙමළ ඔවුනොවුන් අතර යැපේ. ඉහත පළමුවැනි කොටස හාමු පන්නයේ අයවලුන් වෙති. ඔවුන් කාරයක යන එන ගමන් බුකියට වෛරී විඩියෝවක් දෙකක් share කරති(ගිහි පැවිදි). ඉතින් දෙවැනි පිරිස අරමුදල් රැස්කර දෙති. මේ දෙවැනි පිරිස සම්බන්ධයෙන් පොදු නිරීක්ෂකයන් තිබේ. මොවුන් බොහෝවිට අඩු අධ්‍යාපනයක් ලැබූ, ප්‍රසිද්ධ පාසලකට හෝ විශ්ව විද්‍යාලයකට යෑමට බැරිවු පිරිසක් වේ(අති බහුතරය ).නැත්නම් මැදපෙරදිග හෝ කොරියාවේ රැකියා කරන අයවලන්ය. තම තමන්ගේ ජීවිතවල අසාර්ථකත්වයට , අපේක්ෂා භංගත්වයට ජාතිවාදය ආගම්වාදය සරුපසකි.එවිට සියලුම වැරදි දේශපාලුවගේ,දමිළයගේ,මුසල්මානුවගේ, සිංහලයගේ පිටේ පැටවිය හැක.සාපේක්ෂව හොඳ රටවල ජීවත්වෙන අයවලුන් මෙවැනි දෑ වලට හසු වන්නේ කලාතුරකිනි.

  බ්ලොග්කරු මෙම සටහනට අදාල හෙඩිම යෙදීමට ⁣හේතුව මුහුණුපො⁣තේ සැරිසරන භික්ෂූන් වේ. මම මුලින් සඳහන් කළ ආකාරයටම භික්ෂුවක් මුහුණුපො⁣තේ දුටු සැනින් ඔහුගේ වෝලය පරීක්ෂා කර බලමි.ඉතාම කලාතුරකින් නොවන්නට සෑම භික්ෂුවක්ම යම් ජාතියකට අදාලව ඉතාම වෛරී සහගත දේවල් සටහන් තබති. මොවුන්ට තමන්ගේ ශාසතෘ දෙසූ දහමක් share කිරීමට කාලයක් නොමැති තරම්ය. දුක්ඛිත කාරණය වනුයේ ඉතාම තරුණ අවුරුදු 18,20පමණ හිමිවරුන් අති බහුතරය උග්‍ර ජාතිවාදයෙන් ඔලු සේදි තිබීමයි.එබැවින් අනාගතයේ හිත පහදවා ගැනීමට පන්සලට යන එකා එළියට එන විට මෛත්‍රිය   වෙනුවට වෛරයෙන් මුසපත් වනු ඇත. මෙම හිමිවරුන් වර්තමානයේ අදහනුයේ බුදු බණ වෙනුවට එක එක සේනා , බලකාවල හිමිවරුන්ගේ ත්‍රස්තවාදී බණ වේ. අනාගතයේ ඔබේ ළමයා ඉරිදට දහම් අධ්‍යනය ලැබීමට මෙවැනි ත්‍රස්තවාදී පන්නයේ හිමිවරුන් ළඟට යනු ඇත. මුස්ලිම් පල්ලියෙන් ළමුන්ගේ ඔලු සෝදන්නේ යම්සේද එවැනිම ආකාරයෙන් පන්සල්වලද ඔලු සෝදනු ඇත.දැනටමත් වේ.
සටහන මුලදි උපුටා දක්වන ලද්දේ ගෞතම බුදුන් ජාතිවාදය අරභයා වාසෙට්ඨ්‍ය හට දේශනා කරන ලද්දකි. වැරදීමකින් හෝ ගෞතම බුදුන් අද වැනි දිනෙක එවැනි දෙයක් දේශනා කරානම් මෙරට බලකා හිමිවරුන් කුලප්පු වනු ඇත.අස්ගිරිය මෙයට විරුද්ධ වනු ඇත. සහජීවන බණ දෙසන බුදුන් NGO කාරයෙක් ලෙස හංවඩු ගැසෙනු ඇත. බණ කියන්ටත් රටක් තියෙන්නෙ ඕනැ යයි බුකි පිංවතුන් හඬ නගනු ඇත.
  ඉතාම ඉක්මනින් ඉස්ලාම් කතොලික බෞද්ධ භේදයකින් තොරව දහම්පාසල් යම් අධීක්ෂණයක් කළ යුතු බව මගේ හැඟීමයි. මෙවායේ මොනව වෙනවද යන්න කවුරුත් දන්නෙ නැත. එසේ නොවන්නට අනාගත ත්‍රස්තවාදීන් දහම්පාසල් වලින් පෝෂණය වනු ඇත.

Thursday, July 27, 2017

කුණු ගැන රිලා කතාවක්

නිධාන කතාව
   යටගිය දවස බරණැස් නුවර බ්‍රහම්දන්ත නම් රජ දරුවකු රාජ්‍ය පාලනය කරද්දි...... හෝව් හෝව් හෝව් ඒ රජ දරුවා දැන් ලොකුවෙලා. මේක බණ කතාවක් නෙවේ කුණු කතාවක් හරිය.ඒ නිසා එහෙම හිතපු උන් හැරිලා පලයව්.

මේකයි seen එක. ඔන්න එකොමත් එක රටක හිටියලු රිලව් සෙට් එකක්. ඒ කියන්නේ නායක රිලව සහ අවශේෂ රිලව් ටික. උන් ඉතින් තියෙන දෙයක් කඩා වඩාගෙන දැහැමෙන් සෙමෙන් රිලා පැටියෙක් දෙන්නෙක් හදාගෙන දෙයියනේ කියල හිටියලු.ඔන්න ඔහොම ආතල් එකේ ඉද්දි ආතල් කුඩුවෙන්න වැස්ස කාලේ ආවා කියමුකො. දැන් ඉතින් රිලවු ටික හෝල් සේල් එකේ තෙමෙනවලු.නායක රිලවට මේක බලන් ඉන්ඩ බැරිව ඇඬුනලු තනි ඇහැට.දවස් ගානක් මේක දැකල දරා ගන්ඩ බැරිව අනෙක් රිලව් එක්ක සාකච්ඡා කරල තීරණය කරාලු වැස්සෙන් බේරෙන්න ගෙයක් හදන්ඩ.ලොක්කම වැඩ ටික බෙදුවලු.පන්සල පැත්තට යන රිලවට දුන්නලු ප්ලෑන අඳින්න. මොහොමඩ්ලගේ ගෙවල් පැත්තට යන එකාට දුන්නලු ලී හොයන් එන්ඩ. ලෙච්චමීලගේ ගෙවල් පැත්තට යන රිලවට දුන්නලු වහලට දාන්න දෙයක් හොයන්ඩ. වැඩේ කියන්නෙ කරුමෙට ඊළඟ දවසෙ ඉඳල පෑව්වලු.දැන් ඉතින් ආයෙමත් අපේ රිලා අයියල කාලා බීලා පැටියෙක් දෙන්නෙක් හදන් දෙයියනේ කියල හිටියලු.

නූතන කතාව

  ඔන්න එකොමත් එක රටක අවුරුදු මාසෙක මීතොටමුල්ල කියන පැත්තක හායි ගාලා කුණු කන්දක් නාය ගියාලු. මේ ඊට ටික දවසකට පස්සෙ ,

"පව් නේද මෙයා අර යටවුණු මිනිස්සු,මම නම් ආයේ  lunch sheet වල කෑම ගේනනෙ නෑ මෙයා.මම ගත්තා lunchbox එකක්. මේ රෝස පාටයි. සමනළයෙකුත් ඉන්නවා පියනේ"

" අඩෝ ඊයේ මම foodcity ගිහින් බඩු ටික අරන් cashier එක ගාවට ගියාම cashier කෑල්ල බඩු දැම්ම බන් ෂොපින් දෙක තුනකටම,මම ඒකිට කිවිවා නංගි වෙලා තියෙන දේවල් පේන්නැද්ද ,ඔය ටික එක බෑග් එකකට දාල දීපන් කියල. කෙල්ල රතු වුනා මචං"

"සුදූ අපි කොන්ඩම් පාවිච්චි කරන එක අතඅරිමුද, දිරන්නෙත් නෑනේ පැටියෝ. අපි හෙටම ගිහින් ඔයාට injection එකක් ගහමු. හා කියන්නකො ඉතින්"

Two weeks later

"Uncle මට රැපියල් 100ක lunchsheet දෙන්නකො"

"නංගී ඔය බඩු ටික වෙන වෙනම පොලිතීන් බෑග් දෙකක දාලා දෙනවද"