Thursday, November 3, 2016

ලැගුම්හල් සදාචාරය හා පොලීසියේ භූමීකාව

(2012 පෙබරවාරි සමබිම කලාපයෙන් උපුටා ගන්නා ලද්දකි)

  දඹුල්ල ප්‍රදේශයේ පුද්ගලික ලැගුම්හල් සම්බන්ධයෙන් දියත් කරන ලද සෝදිසි මෙහෙයුමක් පිළිබඳව ප්‍රශංසනාත්මක ලිපියක් 2011 දෙසැම්බර් 11 වැනිදා ඉරිදා ලංකාදීප පුවත්පතේ දඹුල්ලේ කාංචන කුමාර අාරියදාස නම් පුද්ගලයකු පළ කොට තිබුණි.දඔුල්ල පොලිසිය විිසින් අදාළ මෙහෙයුම දියත් කරන ලද්දේ ඔවුන් විසින්ම පසුගිය ඉරිදාවක එම පුවත්පතේම පළ කරන ලද යම්කිසි හෙළිදරව් කිරීමක් පාදක කරගෙන බව ලියුම්කරු සඳහන් කරන්නේ යම්කිසි ආඩම්බරයකින් බවද පෙනුණි. ඊට අමතරව පසුගිය ඉරිදා (2011/12/18) දිනද ලැගුම්හල් හා වෙනත් රහසිගත ස්ථාන කරා යන පෙම්වතුන් හා අනෙකුත් ලිංගික සතුට සොයන්නන් පිළිබඳව දීර්ඝ ගවේෂණාත්මක ලිපියක් පළකර තිබුණි. මෙහිදී මෙම ලිපිවල ලියුම්කරුවන් විසින් ඉස්මතු කරන ලද්දාවූ කාරණා සුචරිතවාදී දෘෂ්ටියකෝණයෙන් සාධාරණ බව පෙනී ගියද මේ සම්බන්ධයෙන් නෛතික දෘෂ්ටියකෝණයෙන් ද විග්‍රහයක් ඉදිරිපත් කිරීම උචිත යැයි මට හැඟුණි.

    මෙහිදී මෙම ලිපි දෙකම සම්පාදනය වී ඇත්තේ ලැගුම්හල් කරා ලිංගිකත්වය සෙවීමේ අරමුණෙන් යන සියල්ලන් කෙරෙහිම විරෝධාකල්පයකින් බව පැහැදිලිය.මූලික වශයෙන් මෙහි අරමුණ වී ඇති මෙම අපචාර වලට ගොදුරු වන්නාවූ පාසල් දරු දැරියන් ගලවා ගැනීම ඉතා උතුම්  අරමුණක් බවට මෙම  ලියුම්කරුට විවාදයක් නැත. සදාචාරමය වශයෙන් ගත්කළ අනාචාරයේ හැසිරෙන්නන් බාලවයස්කාර පෙම්වතුන්  සාකච්ඡාවෙන් බැහැර කරන්නේ නම් ඉහත කී කාණ්ඩ දෙකටම අයත් නොවෙන පෙම්වතුන්ට මෙහිදී යම් අසාධාරණයක් සිදුවී ඇත. පෙම්වතුන්ට පෙම් කිරීමට අයිතියක් ඇත. එසේම බාලවයස්කරුවකු නොවන ඕනෑම අයෙකුට තමා කැමති අයෙකු සමඟ ලිංගිකව හැසිරීමටද අයිතියක් ඇත.

     මෙම පෞද්ගලික ලැගුම්හල් සහ ඒවායේ  ලැගුම් ගන්නා පුද්ගලයන් සම්බන්ධයෙන් පොලීසියට ක්‍රියාත්මක විය හැකි යම් වපසරියක් ඇත. සමාජයේ ආරක්ෂාව උදෙසා එම වපසරිය තුළ ක්‍රියාත්මක වන පොලිසිය සමාජයේ ආරක්ෂාව උදෙසාම එම වපසරිය ඉක්මවා යෑමෙන් වැළකිය යුතු බව අපගේ හැඟීමයි. සදාචාරය වැනි කාරණා සම්බන්ධයෙන් පොලීසියේ ක්‍රියාකාරිත්වයට යම් බුරුලක් දිය යුතු බවද ඇතැම්හු විශ්වාස කරති.පොලිසිය ඇතැම් අවස්ථාවලදී තම සීමාවන් ඉක්මවා ක්‍රියාකිරීමට පෙළඹෙන්නේ ඇතැමුන් සාධාරිණීකරණය කරන මේ 'බුරුල' ප්‍රයෝජනයට ගනිමිනි. අඟුලාන සිදුවීම , දොම්පේ සිදුවීම හා කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සිදුවීම වැනි අවාසනාවන්ත තත්වයන් පොලිසිය එකී 'බුරුලෙන්' ප්‍රයෝජන ගත් අවස්ථා සඳහා මෑත කාලීන උදාහරණ වේ.

     මෙහිදී ලැගුම්හල් සම්බන්ධයෙන් පොලීසියට ක්‍රියාත්මක වියහැකි වපසරිය තීරණය වන්නේ ඒ සම්බන්ධයෙන් පවත්නා විවිධ නීතීරීති මඟිනි. ඒ සම්බන්ධයෙන් වර්තමාන සමාජයේ  පුරවැසියන්ට පමණක් නොව ඇතැම් පොලිස් නිලධාරීන්ටද පැහැදිලි අවබෝධයක් නොපවතින බව සමාජ සිදුවීම්  ආශ්‍රයෙන් ප්‍රත්‍යක්ෂ වේ.එබැවින් පොලීසියේ නිශ්චිත සීමාව කුමක්ද යන්න පිළිබඳව හරියාකාර අවබෝධයක් මහජනයාට ලැබිය යුතුය.

    ප්‍රධාන වශයෙන්ම ගණිකාවාස පනත යටතේ ලැගුම්හල්වල සිටින්නන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත. මෙම පනතේ 02 වන වගන්තිය ප්‍රකාරව ගණිකාවාසයක් පවත්වාගෙන යාම , කළමනාකරණය කිරීම , කළමනාකරණය සඳහා ක්‍රියාකිරීම හෝ ආධාර කරන්නෙකු වරදකරු වන්නේය. ඒ අනුව මේ පනත යටතේ ලැගුම්හලක සිටින්නන් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙන්නේ දෙදෙනාගෙන් කාන්තාව අදාළ ලැගුම්හලේ සේවයේ නියුතුව සිටින්නියක් නම් පමණි. යම් පුද්ගලයෙක් එම ලැගුම්හලට පරිබාහිරයෙන් කාන්තාවක රැගෙන ගොස් ඇය සමඟ ලිංගික කාර්යයේ යෙදේනම් එයට බාධා කිරීමට පොලීසියට බලයක් නැත. සිරිනිමල් එදිරිව හලාවත පොලිස් පරීක්ෂක සහ තවත් අය නඩුවේ (2001 ශ්‍රී ලංකා නව නීතී වාර්තා, පිටු අංක 29) මේ බව දක්වා ඇත.

      යම් පුද්ගලයකු ලැගුම්හලක බාලවයස්කරුවකු සමඟ රැඳී සිටින්නේ නම් ජාතික ළමාරක්ෂක අධිකාරි පනත යටතේ එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත.එහිදී එම පුද්ගලයාට චෝදනාව එල්ල වන්නේ බාලවයස්කරුවකු ලිංගික අපයෝජනයට ලක් කිරීම හේතුවෙනි.ඉහත කී පාසල් සිසුසිසුවියන් සම්බන්ධ තත්ත්වය මෙම කාරණාව යටතට අයත් වේ. මෙම නීතියට ගරු කිරීමක් වශයෙන් බොහෝ ලැගුම්හල්වලට පුද්ගලයන් ඇතුළු කර ගැනීමේදී  හැඳුනුම්පත පරීක්ෂා කිරීමක් සිදුකරන අතර අවුරුදු 18ට අඩු පුද්ගලයන් දෙමව්පියන් හා තම පවුල සමඟ නොසිටින බව පෙනී යන්නේ නම් කාමර ලබාදීම ප්‍රතික්ෂේප කරන ලැගුම්හල් හිමියන් කොතෙකුත් සිටිති. එසේ වුවද ඉහත ලිපිවල දක්වා ඇති ආකාරයෙන්ම පටු ලාභ ප්‍රයොජන හා වාසි අරභයා  බාලවයස්කාරයින්ට ලැගුම්හල් සේවාව සපයන පුද්ගලයන්ද සිටින බව සත්‍යයකි. ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ප්‍රමාණවත් නීතීරීති පවතී.

      යම් පුද්ගලයකු ලැගුම්හලක නොව වෙනත් ඕනෑම ස්ථානයක රැඳී සිටියදී සිදුකරන ලබන පරීක්ෂා කිරීමකදි තමාගේ අනන්‍යතාවය තහවුරු කිරීමට අසමත් වේ නම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත. එහෙත් මෙසේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවක චෝදනා ගොනුකළ හැක්කේ අනන්‍යතාවය ඔප්පු කිරීමට අසමත් වීම සම්බන්ධයෙන් පමණි.ලැගුම්හල තුළ ලිංගික ක්‍රියාවක යෙදුණේද යන්න මෙහිදී අදාළ කරුණක් නොවේ. නමුත් බොහෝ අවස්ථාවලදී සිදුවන්නේ අනන්‍යතාවය ඔප්පු කිරීමට අසමත් වීම යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ලිංගික ක්‍රියාවක යෙදීම සම්බන්ධයෙන් සැකකරු වෙත දැඩි සේ අවවාද කොට මුදාහැරීමයි. හදිසි නීතීය ක්‍රියාත්මක වූ සමයේ බොහෝ ලැගුම්හල් වැටලීම් කළේද ඒවායේ රැඳී සිටි "ජෝඩු" අත්අඩංගුවට ගත්තේද පසුව "දැඩි සේ අවවාද කොට" මුදාහරින ලද්දේද මෙම න්‍යාය යටතේය.කෙසේ වෙතත් හදිසි නීතීය හෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලිංගික වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම නෛතික වශයෙන් ප්‍රශ්න කළ හැකි තත්වයකි.

     යම් අවස්ථාවක යම් කාන්තාවක් සමඟ ලැගුම්හලක හෝ වෙනයම් ස්ථානයකදී ලිංගික ක්‍රියාවේ යෙදෙන්නේ ඇගේ කැමැත්තට පටහැනිව නම් දණ්ඩ නීතී සංග්‍රහයේ 363 වගන්තිය යටතේ එන ස්ත්‍රී දූෂණ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත.මෙහිදී ප්‍රබලතම කාරණය වන්නේ අදාළ ස්ත්‍රීයගේ කැමැත්තයි. ඇගේ් කැමැත්ත ඇය කැමැත්ත දීමට හැකි අවස්ථාවක ,එනම් හොඳ සිහිබුද්ධියෙන් පසුවන අවස්ථාවක ලබාගත්තක් විය යුතුය. අදාළ  කාන්තාව බාලවයස්කාරියක් නම් මෙම කැමැත්ත පිළිබඳ කාරණය බල නොපායි. 

      විවාහක පුරුෂයෙකු හෝ ස්ත්‍රීයක් තවත් විවාහක පුරුෂයෙකු හෝ ස්ත්‍රීයක් සමඟ ලිංගික කාර්යයේ යෙදීම, එනම් අනාචාරය ශ්‍රී ලාංකායේ අපරාධ නීතීය යටතේ වරදක් නොවේ. අනාචාරය යනු දික්කසාදයදෙි නඩු නිමිත්තක් සපයන්නාවූ කාරණයක් පමණක් වන අතර මෙවන් අවස්ථාවකදී පොලීසියට භූමිකාවක් නොමැති බව අවධාරණය කළ යුතුය. කිසිදු අවස්ථාවක අනාචාරයේ හැසිරීම  හෝ අනියම් ලිංගික සබඳතාවයක් නිසා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලයක් නොමැත.

     එබැවින් යම් පුද්ගලයන් දෙදෙනකු ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකු  හෝ බාලවයස්කරුවකු නොවෙන අවස්ථාවකදී , අදාළ කටයුත්තට දෙදෙනාගේම කැමැත්ත ඇති අවස්ථාවකදී ,දෙදෙනාගෙන් අයෙකු සේවයේ යෙදෙන ගණිකාවාසය තුළ ලිංගික කාර්යය සිදු  නොකරන අවස්ථාවකදී කිසිම හේතුවක් නිසා ලිංගික වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලයක් නොමැත. එමෙන්ම තම අනන්‍යතාවය සනාථ කිරීමට සමත්වන, වරෙන්තු නොකරන ලද පුද්ගලයකුද එසේ අත්අඩංගුවට ගත නොහැක. එසේ අත්අඩංගුවට ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(1) වන ව්‍යවස්ථාව යටතේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් වේ.

     වර්තමාන තරුණ පරපුර මෙසේ ලිංගික තෘප්තිය සොයා අහුමුළු ගැන්නීමෙහි වගකීම භාරගත යුත්තාහු වැඩිහියෝමය. පෙම් යුවළක් ආසන්නයේ සිටිනවිට ඔවුන්ගේ සෑම අංග චලනයක් පාසා නිරීක්ෂණය කිරීමේ පුරුද්දක් අපේ වැඩිහිටියන්ට ඇත.අතින් අල්ලාගෙන සිටීම වැනි අහිංසක ක්‍රියාවක් දෙස පවා ඇතැමුන් බලන්නේ වපරැසිනි. ප්‍රසිද්ධ සමාජයේ ප්‍රතික්ෂේප වන්නන්, ගැරහුමට ලක් වන්නන් තමන්ගේම ලෝක තුළ මුළුගැන්නීම ලිංගිකත්වය තුළදී පමණක් නොව අනෙකුත් සෑම සියළු සමාජ ක්‍රියාවලියක් තුළදීම අත්දැකීමට ලැබෙන සමාජ සංසිද්ධියකි.

  කුරුණෑගල නගරයේ වර්තමාන තත්ත්වය මෙය වටහා ගැනීමට මනා උදාහරණයකි. කුරුණෑගල නගරයේ වර්තමානයේ පෙම්වතුන්ට නිදහසේ කතාබහ කිරීමට හෝ ස්ථානයක් නොමැත. රජපිහිල්ල උද්‍යානයේ පෙම්වතුන්ට රැඳී සිටීමට ඉඩ නොදෙයි. වැව රවුමේ බංකු වෙන්ව ඇත්තේ විශ්‍රාමික වයෝවෘද්ධ මහත්වරුන්ට හා රාජකාරිය කටයුතු සඳහා නගරයට පැමිණෙන්නන්ට කල් මැරීමටය. ඇතුගල ප්‍රදේශය දැන් පෙම්වතුන්ට සපුරා තහනම් කලාපයකි. කුරුණෑගල බස් නැවතුම්පොළේ හෝ වෙළෙඳ සංකීර්ණයේ හෝ පෙම් පිළිසඳරක යෙදී සිටීමට කිසිදු පෙම් යුවළකට ඉඩක් නැත. කුරුණෑගලදී නිදහසේ පෙම් පිළිසඳරක යෙදීමට නම් එක්කෝ ඇවිද ඇවිද කතා කළ යුතුය. නැත්නම් තමාගෙම කියා වාහනයක් තිබිය යුතුය. එවිට එය මඟ නවත්වා සුළු වේලාවක් නිදහසේ කතා කළ හැකිය. තමාගෙම කියා වාහනයක් ඇත්තේ තරුණ පෙම්වතුන්ගෙන් කීයෙන් කී දෙනාටද? ඉදින් එසේ සදාචාරවත් ලෙස තම පෙම් සබඳතාවය පවත්වාගෙන යාමට ඇති ඉඩකඩ අවුරා ඇති කළ පෙම්වතුන් ඉබේම තල්ලු වන්නේ කාගෙන්වත් කරදරයක් නැති, කාටවත් කරදරයක් නැති,පෞද්ගලිකත්වය උපරිමයෙන් රැකෙන ලැගුම්හල් කරා නොවෙද ?

   සමාජයක පැවැත්මට හා අනන්‍යතාවයන් අාරක්ෂා කර ගැනීමට සදාචාරවත් බව සහ සංස්කෘතිය වැදගත් සාධකයක් වන බව සත්‍යයකි. එසේ වුවද සංස්කෘතිය , සදාචාරය වැනි පුද්ගලබද්ධ කාරණාවන් සම්බන්ධයෙන් නීතීයට ක්‍රියාත්මක විය හැකි යම් සීමාවන් පවතී. එසේ සීමාවන් පනවා ඇත්තේද මානව සමාජයේ සුබසිද්ධිය උදෙසා බව අමතක නොකළ යුතුය. එබැවින් සදාචාරය සුරක්ෂිත කිරීමෙහිලා ආගමික හා සිවිල් සංවිධාන සතු වගකීම පොලිසිය වෙත ආරෝපණය කොට පොලිසියේ යකඩ අතින් සදාචාරය සුරක්ෂිත කරවාගන්නට යාම ආනුශාංගික ගැටලු රාශියකට අත වැනීමක් වන්නේය .

(කාංචන බණ්ඩාර ආතාවුද)
   

1 comment: