Sunday, September 10, 2017

ඒ කාලේ Radio ඇහුන හැටි.

    පරණ රේඩියෝවක් කිව්වම මුලින්ම මගේ මතකෙට එන්නෙ කිරිඅම්මලා ගෙදර තිබුණ තනි ස්පීකරේ අලු පාට රේඩියෝ එක. ඒකට කැසට් පීස් එකක් දාන්නත් පුලුවන්. විදුලිය තිබුනත් රෑපවාහිනි නොතිබුණු ඒ කාලේ දැනුම ප්‍රවෘත්ති රසවින්දනයට හැම එකටම තිබුණේ ඔය රේඩියෝ එක තමයි.
   දවස මුලින්ම පටන් ගන්නේ උදේ පාන්දර දාපු පිරිතෙන්. ඒ දවස්වල රේඩියෝ චැනල් කීපයයිනෙ තිබුනෙත්. වෙළද සේවයයි ස්වදේශීය සේවයයි කඳුරට සේවය වගේ කීපයක් තමයි අපට ඇහුනේ. පිරිතෙන් පස්සෙ බෞද්ධ සිතුවිල්ලක්  ඊටත් පස්සෙ කිතුනු සිතුවිල්ලක් ඔය අතරතුර වෙලාවට ගැළපෙන විදියට දේශාභිමානී ගීතයක්, බැති ගීයක් පාසල් ළමුන්ට ගැළපෙන ගීයක් වගේ යනවා. උදේ 5.50 ට වගේ විනාඩි දෙක තුනක පරිසර වැඩසටනකුත් ගියා.

මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි
ප්‍රවෘත්ති
ඉදිරිපත් කිරීම රම්‍යා වනිගසේකර ......

එහෙම ඇහෙන්නේ උදේ 6ට. ගැඹුරු ගාම්භීර හඬවල්වලින් ඇහුන ප්‍රවෘත්ති වල අමුතු හැඩයක් තිබුණා. ඉස්කෝලේ සමහර උන් සිංහල පාඩම කියෙව්වෙත් ඒ අකෘතියටම. ප්‍රවෘත්ති වලින් පස්සේ obituary Notices.ඒකනම් පට්ට බෝරිං පට්ට මූසලයි.

විශ්‍රාමලත් පාඨශාලාචාරිනි, අහවලාගේ පියාණන් වූද,...... කියලා අවසන් කටයුතු අහවල් සුසාන භූමියේදි සිදුවේ.මීට ශෝකයටපත් පුතා....

එහෙම තමයි ඇහුනේ. හැබැයි කවමදාකවත් උදේට ලග්න පලාඵල නම් ඇහුනෙ නෑ කියල මතකයි. අපි ඉස්කෝලේ ගිය ඔන්න ඔය වෙලාවට.දවල්ට වැඩිය රේඩියෝ ඇහුවෙත් නෑ. දවල් කාලයකට පාසල් නිවාඩුවක් හැරුනම ගෙදර හිටියේ 1995 නොවැම්බර්. ⁣ඉස්කෝලවලට බෝම්බ බියක් අවිල්ල ඉස්කෝල නිවාඩු දුන්නා. විනිවිද පෙනෙන බෑග්, කෑම පෙට්ටි ,කුඩ එහෙම trend එකක් වුනේ ඒ කාලේ. අවසන් වාර පරීක්ෂණය තිබුනෙත් 1996 ජනවාරි. යුද්ධය දරුණුවටම යන කාලයක්.දවල්ටත් ප්‍රවෘත්ති වලින් පස්සෙ අර මූසල obituary notices ගියා. ඊට පස්සෙ ගියා රණබිමෙන් නිවහනට කියල වැඩසටහනක්. යුදබිමේ ඉන්න සෙබළු ගෙවල්වලට එවපු පණිවුඩ ඒකේ විකාශය වුනා. දුරකතන දුර්ලභ එ් කාලේ සෙබලු හිටපු ගෙවල්වල හැමෝම ඒක ඇහුවා. හවස 6 ප්‍රවෘත්ති වලට පස්සෙ ගියා එළවළු ,මාළු මිළ ගණන් වැඩසටහනක්.ඒකට අනුග්‍රහය දැක්වුයේ ලංකා බැංකුව. වැඩසටහනේ අතරතුර

ලංකා බැංකුවයි මේ ඔබේ
ජාතියේ නිධානයයි.....

ඔන්න ඔහොම සිංදුවකුත් ගියා. අපි කැමති වුනත් නැති වුනත් අපිට එ්වා අහන්ඩ වුනා. වෙන චොයිස් නෑනේ. ගුවන්විදුලි නාට්‍ය කියන්නේ ඒ කාලේ ගුවන්විදුලියේ තිබුණ ප්‍රධාන අංගයක්.
මුවන්පැලැස්ස, සෙපෙට්කෝ මහත්තයා වගේම බ්‍රහස්පතින්දාට ගිය ගොපළු කන්දේ විලාපය, හරියටම රෑ දොළහයි වගේ හොල්මන් කතා වගේම රහස් පරීක්ෂක නාට්‍යත් පට්ට .පස්සෙ කාලෙක ආපු සිරස fm එකටත් මේ ගුවන්විදුලි නාට්‍ය  සංස්කෘතිය මඟ හරින්න බැරිවුණා. සාතන්ගේ පුත්තු කියල නාට්‍යක් සිරසෙත් ගියා.මේක කිච කරල පච වෙලා ගියේ ශ්‍රී fm කරපු කණාමැදිරි රාත්‍රියෙන්.
ඉරිදට උදේ 11ට වගේ විහිළු වැඩසටහනක් ගියා. ඒකට අනුග්‍රහය දුන්නෙ සිංහ පට්ටම් කණ්නාඩි. 
හවස⁣ට ගියා අම්බිගා ගීතයෙන් ගීතය. ස සයන්න කිව්වම සයන්නෙන් සිංදුවක් කියනවා. ඒ කාලේ සුපර්ස්ටාර් වුනේ අම්බිගා ගීතයෙන් ගීතය තමයි.

    මට මතක හැටියට 95,96 වගේ තමයි සිරස පටන් ගත්තේ. සින්දු මැද්දේ හිරවෙන, එහෙම හිරවුනාම සිදුවු ප්‍රමාද දෝෂයට බලවත් කණගාටුව පළ කරපු ගුවන් විදුලි සංස්ථාවට වඩා stereo sound ගෙනාපු සිරස නැඟල ගියා. විනයක් ඇතුලේ හිරවුනු අදහස් ප්‍රකාශ කිරිල්ලෙ ඇතුලේ ගිරා කියවීම අලුත් අත්දැකීමක් වුනා. මුල් දවස්වල ඕකෙ විකාශය ආරම්භ වුනේ උදේ 8,ට 9ට විතර. ඒ වෙනකල් අපි බලන් හිටියා. ලස්සන පැහැදිලි සින්දු අහන්ඩ.

      1997 අවුරැද්දේ දවසක මට අවස්ථාවක් හම්බ වුනා කොත්මලේ fm එකේ වැඩසටහනකට යන්ඩ. ඉස්කෝලේ උගන්නපු ගුරුතුමියටත් කිව්වා අහපන් කියලා මොකෝ  මම හිතුවෙ ඒක live broadcast කරයි කියලා. ගියාට පස්සෙ තමයි විස්තරේ තේරුණේ. රෙකෝඩින් එක තිබුණේ එළියේ corridor එකක. ඒ කාලේ චූන් පාන් කාරයෝ නැතිවුනාට ලොතරැයි කාරයෝ හිට්යා. උන් යන වෙලාවට රෙකෝඩින් එක දඩස් ගාලා නතර කරනවා. ඊට පස්සෙ ආයේ පටන් ගන්නවා. එහෙම තත්වයක් තමයි ඒ කාලේ කොත්මලේ fm එකේ තිබුණේ.ගියපු වැඩසටහන ඊටත් මාස දෙකකට විතර පස්සෙ කපල කොටල broadcast කරා.පොඩිකමට ඒක ලොකු අත්දැකීමක්.වැඩසටහන ඉවර වුනාම කවකටු පෙට්ටිකුයි පොත් වගයකුයි තෑගිත් ලැබුණා.එ් අපි පොඩිකාලේ රේඩියෝ .

     දැන් . රේඩියෝ චැනල් බර ගාණක්. අහනවට සල්ලිත් දෙනවා. අනේ අපෙනුත් මල් ගන්ඩකෝ කියනවා වගේ අපේ එකත් අහල බලන්ඩ කියනවා. හරි අමාරුවෙන් ගේමක් දීල පැයකට සින්දු 7-8ක් play කර ගන්නවා. ඒ තරමට වෙළෙඳ දැන්වීම්.හවසට හැම එකේම පිරිත්.ඒ අස්සේ සුදර්ශන ගුණවර්ධනලා ගුවන්විදුලි සංස්ථාව ගොඩ ගන්නත් හදනවා. Tv පැතිරෙද්දි අපි හිතුවෙ ඒක radio වල මළගම කියල. හැබැයි ඒක එහෙම වුනේ නෑ. තාමත් රේඩියෝ හුස්ම ගන්නවා. ඒ හුස්මෙ සද්දෙ අපිටත් ඇහෙනවා.

5 comments:

  1. //මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි
    ප්‍රවෘත්ති
    ඉදිරිපත් කිරීම රම්‍යා වනිගසේකර ......//
    //අම්බිගා ගීතයෙන් ගීතය//
    podikale ape siya hmdm ahnne Welada sewaya.apith ithn ghn ahan innw.
    lawata wage thamath mathakai mewa thmath!!!

    ReplyDelete
  2. අද තමයි බ්ලොගය ඇහැගැටුනේ.. මේ ලිපියට කමෙන්ට් එකක් දැමිය යුතුයි කියල හිතුන.. ඇත්තම කියනවනම් අද වෙද්දී රේඩියෝ කලාවක් කියල එකක් නැහැ කියලයි මට හිතෙන්නේ. විදේශ රටක හිටියත් ඉඩක් ලැබෙන වෙලාවට ෆෝන් එකේ තියන ඇප් එකකින් ලංකාවේ රේඩියෝ ඇහුව පහුගිය කාලේ. ඒත් එතන රේඩියෝ කලාවක් නැහැ කියල තේරුන නිසා අහන ඒක නැවැත්තුව.

    අපි පුංචි කාලේ රේඩියෝව අදට වඩා මිනිස්සුන්ගේ ජීවිත වලට කොයිතරම් සමීපද කියල මතක් වෙද්දී දැනෙන්නේ පුදුම කලකිරීමක්. සිරස එෆ් එම් පටන් ගන්න කලින් ඉඳන් එෆ් එම් තරංග වලින් සිටි එෆ් එම් තිබුනා උනාට සිටි එෆ් එම් අනෙකුත් රේඩියෝ නාලිකාව වලින් වෙනස්වුනේ සුපැහැදිලි තාවය සහ ගීත ටිකක් විතර අලුත් ඒවා වීම පමණයි. නිවේදකයින් කිසිම වෙලාවක තමුන්ගේ රීති බිදගත්තේ නැහැ. ඒත් සිරස එෆ් එම් පටන් ගත්තාම රේඩියෝව ටිකක් විතර අළු ගසා දමාල වෙනස්ම ආරෙකින් නැගී හිටිය. ඒ වෙනස ඇති කලාට නිමල් ලක්ෂපති ආරච්චි කියන මනුස්සයාට ස්තුතිවන්ත විය යුතුයි. ඒත් කාලයක් යාදී නිමල් ලක්ෂපති ආරච්චි විසින් ඇතිකරපු ඒ රේඩියෝව වැටකඩුලු බිඳගෙන ගිහින් වල් වැදුනා කියලයි මගේ අදහස.

    ඉස්සර අපි ඉස්කෝලේ ඇරිලා එද්දී ගෙවල් ඇතුලෙන් ඇහෙනවා දිවා දැහැන කියන වැඩසටහනේ ගීත ප්‍රචාරය වෙන්ව. ඊට සමගාමීව කෑම උයන සුවඳ පරිසරය පුරාම පැතිරෙනව. හවසට තිබ්බ අම්බිගා ගීතයෙන් ගීතය තවමත් මතකයි. ගුවන් විදුලි ප්‍රවුර්ති යන්න කලින් යන සංගීත කණ්ඩය වාදනය වෙද්දී මුළු රටම දන්නවා ඊළඟට විකාසහනය වෙන්නේ ප්‍රවුර්ති කියල. මරණ දැන්වීම්, පොලිස් දැන්වීම් වගේ දේවල් නිවේදනය වෙච්චි ආරය හැම නාලිකාවකටම පොදු වෙච්ච ආරයක් වුනා. ඒක හරිම සුන්දර කාලයක්.

    සිරස එෆ් එම් උනත් 1996 වෙද්දීත් බොහොම රීතියක් ඇතුව තමුන්ගේ ගුවන් විදුලිය පවත්වාගෙන ගියා කියලයි මතක. හවසට ගිය ලොවින් කැදැල්ලට කියන වැඩසටහන සාමාන්‍ය දැනුමත් මිනිස්සු අතරට ගෙනිච්ච වැඩසටහනක්. අද වෙද්දී මනුස්සයෙකුට අහන්න දෙයක් ලංකාවේ රේඩියෝවක නැහැ කියලයි මගේ අදහස. නිමල් ලක්ශාපති ආරච්චි අද ජීවතුන් අතර හිටියනම් බොහොම කනගාටු වෙයි එතුමා ලංකාවට හඳුවාදීපු අලුත් රේඩියෝ කලාවට වෙච්චි දේ ගැන.

    ReplyDelete
  3. karu aiyage katahadata mama hari aasai

    ReplyDelete