Friday, April 20, 2018

වහන්න ලේසියි

පහුගිය දවසක හොරණ පැත්තේ එක්තරා කර්මාන්ත ශාලාවක වෙච්ච යම් අනතුරකින් ඇමෝනියා ආඝ්‍රාණය වෙලා කීපදෙනෙක් මියගියා. ඒක බරපතළ කාරණයක්. අදාල ආයතනයේ නොසැලකිලිමත් කම, safety precautions අනුගමනය නොකිරීම, ප්‍රථමාධාර සම්බන්ධයෙන් හාන්කවිසියක් නොදන්නාකම ආදී කාරණා ගණනාවක් හේතුවෙන් මිනිස් ජීවිත කිහිපයක් අහිමි වෙනවා.කර්මාන්තශාලාවේ කළමනාකරු අත්අඩංගුවට පත්වෙනවා. දැන් අදාළ සිදුවීමෙන් අනතුරුව දේශපාලන තීන්දු තීරණ ගන්නා උදවිය එම කර්මාන්තශාලාව වසා දමන්නට තීරණය කරලා. මේ තීරණය හරිද?

     දියුණුවෙමින් පවතින රටවල්වලට කර්මාන්තශාලා කියන්නේ විශාල සම්පතක්, හොඳ ආයෝජනයක්. රැකියා අවස්ථා ඇතිවෙලා මිනිස්සු රටට බරක් නොවෙන එකම මදිද. අනතුරක් සිදු වූ පමණින් හැරෙන තැපෑලෙන් කර්මාන්තශාලාවක් වසා දැමීමට තීරණය කිරීමෙන් අපට පේන්නේ මේ රටේ තීන්දු තීරණ ගන්නාවුන් ආයෝජකයන් දිහා බලන විදිය. අපි ආයෝජකයන් දිහා අපරාධකරුවන් හැටියට බලනවා නම් අපි වගේ රටවලට ආයෝජකයන් එන්න කලින් දෙපාරක් හිතයි.හැට ගණන් වලදි Lee kuan yew එංගලන්තෙ සංචාරයකදී  කියනවා " අපිට අධාර එපා . අපිට ඕනේ ආයෝජන". හැබැයි අපි නම් දකින්නේ අපේ රටේ නායකයෝ දියුණු රටවලට ගිහින් අාධාර හිඟාගෙන එනවා මිසක් ආයෝජන රැගෙන එනවා නම් නොවෙයි.අඩුම තරමේ හොඳ රටකට රාජ්‍යතාන්ත්‍රික සංචාරයක් යද්දි හොඳ Project proposals දෙක තුනක් අරන් යනවද කියලවත් මටනම් විශ්වාසයක් නැහැ.
   දැන් දේශීය හරි විදේශීය හරි ආයෝජකයන් ඇවිල්ලා ව්‍යාපෘතියක් පටන් ගත්තා කියමුකො. දැන් රජයක වගකීම එතනින් අවසානද? අදාළ කර්මාන්තශාලා රටේ නීතියට වැඩ කරනවද , පරිසර හානි සිදු කරනවද , safety standard follow  කරනවද ආදී විවිධාකාර කාරණා ගැන පසුවිපරමක් කරනවද?  රටේ වැඩ වෙන විදියට නම් පේන්නේ එහෙම කිසිම පසුවිපරමක් නෑ. රටේ තියෙන සියලුම කර්මාන්තශාලා (කුඩා පරිමාණ හෝ මහා පරිමාණ ) අවම  තත්ව සහතිකයක්වත් දෙන වැඩපිළිවෙළක් වත් තියෙනවද? කර්මාන්තශාලාවල අනතුරු ඇතිවීම අස්වාභාවික දෙයක් නොවෙයි. එහෙම දේවල් සිදුවෙනවා. අනතුරු සිදුවූ පළියට කර්මාන්තශාලා වසා දැමීමට සිදුවුන⁣හොත් රටේ කර්මාන්තශාලා බොහෝමයක් වසා දමන්නට සිදුවේවි. තාක්ෂණයෙන් අපට වඩා බොහෝමයක් දියුණු රටවල වුනත් අනතුරු සිදුවෙනවා. අනතුරු සිදුවීම් පාලනය කරන්නට නීතී පද්ධති , හදිසි අවස්ථාවන් සඳහා නිසි පුහුණුවීම් , ප්‍රථමාධාර වැඩසටහන් , safety equipments පැළදීමට උනන්දු කිරීම් ආදිය සිදුකරනවා හැරෙන්නට කර්මාන්තශාලා වසා දමන එක විහිළුවක්. මම traning හිටපු අපේ රටේ ප්‍රසිද්ධ කර්මාන්තශාලාවක මම යන්න ටික කාලයකට කලින් යන්ත්‍රයකින් අනතුරක් වෙලා තරුණයෙක් මිය ගිහින් තිබුණා. මම යද්දි ඒ යන්ත්‍රයට අලුත් pneumatic safety system එකකුත් camera system එකකුත් එම යන්ත්‍රයට ඉංජිනේරුවන් විසින් හඳුන්වා දී තිබුණා. අපට ඒ ආයතනය කියපු හැටියට රටේ GDP එකෙන් 4% ආසන්න ප්‍රමාණයක් හොයන්නෙ ඔවුන්. කොහොමද අනතුරක් සිදු වූ පමණින් එවැනි කම්පැනියක් වසා දැමුවහොත් රටේ ආර්ථිකයට වන අලාභය.රජයකට පුලුවන් කර්මාන්තශාලා ආදියට Zero accident policy එකක් අනුගමනය කරවන්නට පොළඹවන්නට වගේම අධීක්ෂණය කරන්නට . කර්මාන්තශාලා තමන්ගේ තත්ව සහතික ටික අාඩම්බරයෙන් ප්‍රදර්ශනය කරනවා වගේ   අනතුරු සම්බන්ධයෙනුත් Rating system එකක් හදල ප්‍රදර්ශනය කරන්න⁣ට පුලුවන් නම් හොඳ ප්‍රතිඵලයක් අනාගතයට තියෙයි.

3 comments:

  1. ඕක කියපු බූරුවව මහ ඇමතිකමෙන් එලවන්න ඕකම ඇති වෙන රටක නම්.

    ReplyDelete
  2. සිරාවට... මහපාරේ දවසකට අනතුරු කීයක් වෙනවද...කීදෙනෙක් මැරෙනවද? එහෙම කියල මේ ගොන්නු පාරවල් වහයිද?

    ලංකාවට කෙලවෙලා ගිහින් තියෙන්නෙ මේ වගේ ගොබ්බ යක්කු නිසා. දේසපාලුවොත් දන්නව ගමේ උන් හුරේ දාන්නෙ ෆැක්ටරිය වැස්සුවොත් කියල

    ReplyDelete