Sunday, September 10, 2017

ඒ කාලේ Radio ඇහුන හැටි.

    පරණ රේඩියෝවක් කිව්වම මුලින්ම මගේ මතකෙට එන්නෙ කිරිඅම්මලා ගෙදර තිබුණ තනි ස්පීකරේ අලු පාට රේඩියෝ එක. ඒකට කැසට් පීස් එකක් දාන්නත් පුලුවන්. විදුලිය තිබුනත් රෑපවාහිනි නොතිබුණු ඒ කාලේ දැනුම ප්‍රවෘත්ති රසවින්දනයට හැම එකටම තිබුණේ ඔය රේඩියෝ එක තමයි.
   දවස මුලින්ම පටන් ගන්නේ උදේ පාන්දර දාපු පිරිතෙන්. ඒ දවස්වල රේඩියෝ චැනල් කීපයයිනෙ තිබුනෙත්. වෙළද සේවයයි ස්වදේශීය සේවයයි කඳුරට සේවය වගේ කීපයක් තමයි අපට ඇහුනේ. පිරිතෙන් පස්සෙ බෞද්ධ සිතුවිල්ලක්  ඊටත් පස්සෙ කිතුනු සිතුවිල්ලක් ඔය අතරතුර වෙලාවට ගැළපෙන විදියට දේශාභිමානී ගීතයක්, බැති ගීයක් පාසල් ළමුන්ට ගැළපෙන ගීයක් වගේ යනවා. උදේ 5.50 ට වගේ විනාඩි දෙක තුනක පරිසර වැඩසටනකුත් ගියා.

මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි
ප්‍රවෘත්ති
ඉදිරිපත් කිරීම රම්‍යා වනිගසේකර ......

එහෙම ඇහෙන්නේ උදේ 6ට. ගැඹුරු ගාම්භීර හඬවල්වලින් ඇහුන ප්‍රවෘත්ති වල අමුතු හැඩයක් තිබුණා. ඉස්කෝලේ සමහර උන් සිංහල පාඩම කියෙව්වෙත් ඒ අකෘතියටම. ප්‍රවෘත්ති වලින් පස්සේ obituary Notices.ඒකනම් පට්ට බෝරිං පට්ට මූසලයි.

විශ්‍රාමලත් පාඨශාලාචාරිනි, අහවලාගේ පියාණන් වූද,...... කියලා අවසන් කටයුතු අහවල් සුසාන භූමියේදි සිදුවේ.මීට ශෝකයටපත් පුතා....

එහෙම තමයි ඇහුනේ. හැබැයි කවමදාකවත් උදේට ලග්න පලාඵල නම් ඇහුනෙ නෑ කියල මතකයි. අපි ඉස්කෝලේ ගිය ඔන්න ඔය වෙලාවට.දවල්ට වැඩිය රේඩියෝ ඇහුවෙත් නෑ. දවල් කාලයකට පාසල් නිවාඩුවක් හැරුනම ගෙදර හිටියේ 1995 නොවැම්බර්. ⁣ඉස්කෝලවලට බෝම්බ බියක් අවිල්ල ඉස්කෝල නිවාඩු දුන්නා. විනිවිද පෙනෙන බෑග්, කෑම පෙට්ටි ,කුඩ එහෙම trend එකක් වුනේ ඒ කාලේ. අවසන් වාර පරීක්ෂණය තිබුනෙත් 1996 ජනවාරි. යුද්ධය දරුණුවටම යන කාලයක්.දවල්ටත් ප්‍රවෘත්ති වලින් පස්සෙ අර මූසල obituary notices ගියා. ඊට පස්සෙ ගියා රණබිමෙන් නිවහනට කියල වැඩසටහනක්. යුදබිමේ ඉන්න සෙබළු ගෙවල්වලට එවපු පණිවුඩ ඒකේ විකාශය වුනා. දුරකතන දුර්ලභ එ් කාලේ සෙබලු හිටපු ගෙවල්වල හැමෝම ඒක ඇහුවා. හවස 6 ප්‍රවෘත්ති වලට පස්සෙ ගියා එළවළු ,මාළු මිළ ගණන් වැඩසටහනක්.ඒකට අනුග්‍රහය දැක්වුයේ ලංකා බැංකුව. වැඩසටහනේ අතරතුර

ලංකා බැංකුවයි මේ ඔබේ
ජාතියේ නිධානයයි.....

ඔන්න ඔහොම සිංදුවකුත් ගියා. අපි කැමති වුනත් නැති වුනත් අපිට එ්වා අහන්ඩ වුනා. වෙන චොයිස් නෑනේ. ගුවන්විදුලි නාට්‍ය කියන්නේ ඒ කාලේ ගුවන්විදුලියේ තිබුණ ප්‍රධාන අංගයක්.
මුවන්පැලැස්ස, සෙපෙට්කෝ මහත්තයා වගේම බ්‍රහස්පතින්දාට ගිය ගොපළු කන්දේ විලාපය, හරියටම රෑ දොළහයි වගේ හොල්මන් කතා වගේම රහස් පරීක්ෂක නාට්‍යත් පට්ට .පස්සෙ කාලෙක ආපු සිරස fm එකටත් මේ ගුවන්විදුලි නාට්‍ය  සංස්කෘතිය මඟ හරින්න බැරිවුණා. සාතන්ගේ පුත්තු කියල නාට්‍යක් සිරසෙත් ගියා.මේක කිච කරල පච වෙලා ගියේ ශ්‍රී fm කරපු කණාමැදිරි රාත්‍රියෙන්.
ඉරිදට උදේ 11ට වගේ විහිළු වැඩසටහනක් ගියා. ඒකට අනුග්‍රහය දුන්නෙ සිංහ පට්ටම් කණ්නාඩි. 
හවස⁣ට ගියා අම්බිගා ගීතයෙන් ගීතය. ස සයන්න කිව්වම සයන්නෙන් සිංදුවක් කියනවා. ඒ කාලේ සුපර්ස්ටාර් වුනේ අම්බිගා ගීතයෙන් ගීතය තමයි.

    මට මතක හැටියට 95,96 වගේ තමයි සිරස පටන් ගත්තේ. සින්දු මැද්දේ හිරවෙන, එහෙම හිරවුනාම සිදුවු ප්‍රමාද දෝෂයට බලවත් කණගාටුව පළ කරපු ගුවන් විදුලි සංස්ථාවට වඩා stereo sound ගෙනාපු සිරස නැඟල ගියා. විනයක් ඇතුලේ හිරවුනු අදහස් ප්‍රකාශ කිරිල්ලෙ ඇතුලේ ගිරා කියවීම අලුත් අත්දැකීමක් වුනා. මුල් දවස්වල ඕකෙ විකාශය ආරම්භ වුනේ උදේ 8,ට 9ට විතර. ඒ වෙනකල් අපි බලන් හිටියා. ලස්සන පැහැදිලි සින්දු අහන්ඩ.

      1997 අවුරැද්දේ දවසක මට අවස්ථාවක් හම්බ වුනා කොත්මලේ fm එකේ වැඩසටහනකට යන්ඩ. ඉස්කෝලේ උගන්නපු ගුරුතුමියටත් කිව්වා අහපන් කියලා මොකෝ  මම හිතුවෙ ඒක live broadcast කරයි කියලා. ගියාට පස්සෙ තමයි විස්තරේ තේරුණේ. රෙකෝඩින් එක තිබුණේ එළියේ corridor එකක. ඒ කාලේ චූන් පාන් කාරයෝ නැතිවුනාට ලොතරැයි කාරයෝ හිට්යා. උන් යන වෙලාවට රෙකෝඩින් එක දඩස් ගාලා නතර කරනවා. ඊට පස්සෙ ආයේ පටන් ගන්නවා. එහෙම තත්වයක් තමයි ඒ කාලේ කොත්මලේ fm එකේ තිබුණේ.ගියපු වැඩසටහන ඊටත් මාස දෙකකට විතර පස්සෙ කපල කොටල broadcast කරා.පොඩිකමට ඒක ලොකු අත්දැකීමක්.වැඩසටහන ඉවර වුනාම කවකටු පෙට්ටිකුයි පොත් වගයකුයි තෑගිත් ලැබුණා.එ් අපි පොඩිකාලේ රේඩියෝ .

     දැන් . රේඩියෝ චැනල් බර ගාණක්. අහනවට සල්ලිත් දෙනවා. අනේ අපෙනුත් මල් ගන්ඩකෝ කියනවා වගේ අපේ එකත් අහල බලන්ඩ කියනවා. හරි අමාරුවෙන් ගේමක් දීල පැයකට සින්දු 7-8ක් play කර ගන්නවා. ඒ තරමට වෙළෙඳ දැන්වීම්.හවසට හැම එකේම පිරිත්.ඒ අස්සේ සුදර්ශන ගුණවර්ධනලා ගුවන්විදුලි සංස්ථාව ගොඩ ගන්නත් හදනවා. Tv පැතිරෙද්දි අපි හිතුවෙ ඒක radio වල මළගම කියල. හැබැයි ඒක එහෙම වුනේ නෑ. තාමත් රේඩියෝ හුස්ම ගන්නවා. ඒ හුස්මෙ සද්දෙ අපිටත් ඇහෙනවා.

Tuesday, September 5, 2017

දෙයියා සහ හිඟන්නා

හිඟන්නට දෙන රුපියල් විස්සත්
දෙයියගෙ පින් කැටේට දාන රුපියල් පහත්
දෙකම පින් නම්
හිඟන්නා > දෙයියා   නොවෙද
එහෙනම් හිඟන්නා more important
දෙයියෝ ගෝචර වෙන්නෙත් නෑලුනේ
ඉතින් අපි නම් දෙක මාරු කරොත්
දෙයියා වෙනුවට හිඟන්නා
හිඟන්නා වෙනුවට දෙයියා
පට්ටනේ මචං

"ඊයේ මං පාරේ හිටපු දෙයියෙක්ට කෑම එකක් දුන්නා බං"

"පොලිසිය විසින් පිටකොටුවේ සිටි දෙවිවරුන් ඔවුන්ගේ විමාන වලින් ඉවත් කරන ලදි"
News alert එකක් මචං

"ලබන මාසේ යමුද මචං කතරගම , හිඟන්නෙක්ට භාරයක් වෙන්ඩ"

දැන් දෙයියෝ ගෝචරයි.
හිඟන්නො ඈවරයි......

Monday, September 4, 2017

පාපතර ගැහැණු

අද බිනර පොහෝ දිනයයි. බෞද්ධයන්ට මෙය වැදගත් වනුයේ අද වැනි දිනක භික්ෂුනී ශාසනය ආරම්භ වීමයි. මහා ප්රජාපතී ගෝතමියගේ දිගු කාලීන අරගලයක ප්‍රතිඵලයක් මත අවසානයේදි භික්ෂුනී සසුන ආරම්භ විය. එය ආරම්භයට පෙර
මහා ප්රජාපතී ගෝතමිය ඇතුළු පිරිසට අෂ්ටගරු ධර්ම අටක් පිළිගැනීමට සිදුවිය.

අෂ්ටගරු ධර්ම අට

1. උපසම්පදාවෙන් වසර සියයක් ගත වූ මෙහෙණියක විසින් වුවද එදින උපසපන් වූ භික්ෂූව දැක වැඳුම් හුනස්නෙන් නැගී සිටීම් ආදී ගෞරව කළ යුතුය.

2. භික්ෂුණිය භික්ෂූන් නැති පෙදෙසක වස් විසීම නොකළ යුතුය.

3. අඩ මසක් පාසා මෙහෙණිය විසින් භික්ෂූ සංඝයාගෙන් පොහොය විචාල යුතුය. අවවාද දීමට භික්ෂුවක ගේ පැමිණීම ද බලපොරොත්තු විය යුතු ය.

4. වස් විසූ භික්ෂුණිය වස් අවසානයේ දී භික්ෂූ භික්ෂුණී යන උභතෝ සංඝයා ඉදිරියේ පවාරණය කළ යුතුය.

5. බර ඇවතකට පත් භික්ෂුණිය දෙසතියකට නො අඩු කාලයක් උභතො සංඝයා ඉදිරියෙහි වත් දෙපෝයක්. මානත් පුරා අබ්භාත විනය කර්මය සිදුකළ යුතුය.

6. උපසම්පදාව ලබනු කැමැති මෙහෙණිය දෑ අවුරුද්දක් ම අවශ්ය ප්රතිපත්ති සික්ඛ මානාවක වශයෙන් ප්රගුණ කොට උභතො සංඝයා ඉදිරියේ උපසම්පදාව ලබාගත යුතුයි.

7. කවර කරුණක් නිසා හෝ භික්ෂුණියක විසින් භික්ෂුවකට ආක්රෝෂ පරිභව නොකළ යුතු ය.

8. භික්ෂුණිය විසින් භික්ෂූන්ට අවවාද නො කළ යුතු අතර භික්ෂූන් විසින් දෙනු ලබන අවවාද පිළිගත යුතුයි.

මෙම කාරණා අට දිහා නැවත වතාවක් බැලුවහොත් පෙනී යන්නේ සාම්ප්‍රදායික බමුණන් ගැහැනුන් කෙරෙහි දැක්වූ පහත් ආකල්පය, බමුණු මත කෙරෙහි විශාල ප්‍රතිවිරෝධයක් දැක්වූ  බුදුන්ට පවා අවසානයේ එහිම ගොදුරක් වූ බව නෙවේද. බලන්න එහි පළමු කරුණ දිහා,උපසම්පදාවෙන් වසර 100ක් ගතවූ භික්ෂුනීයක් වුව එදින උපසපන් වූ භික්ෂුවකට වැඳිය යුතුය.මෙසේ වැඳය යුත්තේ කිනම් කාරණයකයද. ඔවුන් ගැහැනුන් නිසා නොවෙද, අවසන් විග්‍රහයෙදි මොවුන් වැඳ ඇත්තේ පුරුෂ ලිංගයකට නොවේනම් වෙන කුමකටද.

    දෙවෙනි කරුණ අවුලක් නැතැයි සිතමු. තෙවෙනි කරුණ බලමු. "අඩ මසක් පාසා මෙහෙණිය විසින් භික්ෂූ සංඝයාගෙන් පොහොය විචාල යුතුය. අවවාද දීමට භික්ෂුවක ගේ පැමිණීම ද බලපොරොත්තු විය යුතු ය."
ඇයි භික්ෂුනීන් හට අවවාද දීමට වැඩිහිටි භික්ෂුනීන් නැතිද, මේ පවසන්නේ භික්ෂුනීන් භික්ෂුන්ට සාපේක්ෂව මෝඩ බව නොවෙද

හත්වැනි සහ අටවැනි කාරණා බලමු.කවර කාරණයක් නිසා හෝ භික්ෂුනීයක් භික්ෂුවකට නොබැනිය යුතුය . හරි හෝ වැරදි හෝ වේවා වරදක් දුටුවිට පවා භික්ෂුවකගේ වැරද්දක් ඉවසිය යුතුය. නොදැක්කා සේ සිටිය යුතුය . භික්ෂුනීන් විසින් භික්ෂුන්ට අවවාද නොකළ යුතු අතර භික්ෂුන් දෙන අවවාද පිළිගත යුතුය.

සියලුම ආගම් කිසියම් හෝ ආකාරයකින් ගැහැනුන් හෙලා දකිති. ඉස්ලාමය ද ක්‍රිස්තියානිද හින්දු බෞද්ධ භේදයකින් තොරව මෙම කාරණයේදි පුරුෂ මූලික පුරුෂ ශාස්තෘන් ගැහැනු හෙලා දැක තිබේ. නමුත් ආගමික සමාජයෙන් අති බහුතරය ගැහැනුන් වේ. තමන් තලා පෙලා පහත් කරනා ආගම් තුලින්ම ගැහැනුන් විමුක්තිය සොයති.ආගම් කෙරෙහි ඉතා භක්තිමත් කොටස ගැහැනුන් වේ.

   මහා ප්‍රජාපතිය අද වැනි දිනෙක දිනා ඇත්තේ යදමින් බැඳි ජයග්‍රහණයකි. ඉහත කාරණා මීට අවුරුදු දෙදහස් පන්සිය ගණනකට කලින් ඇතිවූ  බව සත්‍යයක්. නමුත් අදටත් ගැහැනුන් ආගමෙන් බැට කති. ඊළඟ ආත්මයේ පිරිමින් වීමට පින් පුරති.තමාගේ ගැහැනු ආත්මය පව්කාරකමක ප්‍රතිඵලයක් සේ දකිති. ඒ ඔවුන්ගේ ආගමෙන් ඔවුන්ගේ ගැහැනු ජීවිතය පහත් කොට සළකන හෙයිනි. ගැහැනුන් පහත් කර සළකන ආගම් විසින්ම නැවත වාරයක් මවට සැළකීම ගැන කතා කරති. මාතෘත්වයට එන්නේ අර පව්කාර ගැහැණියම බව අමතක වෙති. දැන් නැවතත් මහා ප්‍රජාපතිලා අවශ්‍ය කාලයකි. ඒ පුරුෂ ලිංගයට වැඳ වැටීමට නොව අවබෝධය හෝ විමක්තිය ලබා ගැනීම උදෙසා කකුල් දෙක අතර ඇති අවයවය වැදගත් නොවන බව පැවසීමටය.