පරණ රේඩියෝවක් කිව්වම මුලින්ම මගේ මතකෙට එන්නෙ කිරිඅම්මලා ගෙදර තිබුණ තනි ස්පීකරේ අලු පාට රේඩියෝ එක. ඒකට කැසට් පීස් එකක් දාන්නත් පුලුවන්. විදුලිය තිබුනත් රෑපවාහිනි නොතිබුණු ඒ කාලේ දැනුම ප්‍රවෘත්ති රසවින්දනයට හැම එකටම තිබුණේ ඔය රේඩියෝ එක තමයි.
දවස මුලින්ම පටන් ගන්නේ උදේ පාන්දර දාපු පිරිතෙන්. ඒ දවස්වල රේඩියෝ චැනල් කීපයයිනෙ තිබුනෙත්. වෙළද සේවයයි ස්වදේශීය සේවයයි කඳුරට සේවය වගේ කීපයක් තමයි අපට ඇහුනේ. පිරිතෙන් පස්සෙ බෞද්ධ සිතුවිල්ලක් ඊටත් පස්සෙ කිතුනු සිතුවිල්ලක් ඔය අතරතුර වෙලාවට ගැළපෙන විදියට දේශාභිමානී ගීතයක්, බැති ගීයක් පාසල් ළමුන්ට ගැළපෙන ගීයක් වගේ යනවා. උදේ 5.50 ට වගේ විනාඩි දෙක තුනක පරිසර වැඩසටනකුත් ගියා.
මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි
ප්‍රවෘත්ති
ඉදිරිපත් කිරීම රම්‍යා වනිගසේකර ......
එහෙම ඇහෙන්නේ උදේ 6ට. ගැඹුරු ගාම්භීර හඬවල්වලින් ඇහුන ප්‍රවෘත්ති වල අමුතු හැඩයක් තිබුණා. ඉස්කෝලේ සමහර උන් සිංහල පාඩම කියෙව්වෙත් ඒ අකෘතියටම. ප්‍රවෘත්ති වලින් පස්සේ obituary Notices.ඒකනම් පට්ට බෝරිං පට්ට මූසලයි.
විශ්‍රාමලත් පාඨශාලාචාරිනි, අහවලාගේ පියාණන් වූද,...... කියලා අවසන් කටයුතු අහවල් සුසාන භූමියේදි සිදුවේ.මීට ශෝකයටපත් පුතා....
එහෙම තමයි ඇහුනේ. හැබැයි කවමදාකවත් උදේට ලග්න පලාඵල නම් ඇහුනෙ නෑ කියල මතකයි. අපි ඉස්කෝලේ ගිය ඔන්න ඔය වෙලාවට.දවල්ට වැඩිය රේඩියෝ ඇහුවෙත් නෑ. දවල් කාලයකට පාසල් නිවාඩුවක් හැරුනම ගෙදර හිටියේ 1995 නොවැම්බර්. ඉස්කෝලවලට බෝම්බ බියක් අවිල්ල ඉස්කෝල නිවාඩු දුන්නා. විනිවිද පෙනෙන බෑග්, කෑම පෙට්ටි ,කුඩ එහෙම trend එකක් වුනේ ඒ කාලේ. අවසන් වාර පරීක්ෂණය තිබුනෙත් 1996 ජනවාරි. යුද්ධය දරුණුවටම යන කාලයක්.දවල්ටත් ප්‍රවෘත්ති වලින් පස්සෙ අර මූසල obituary notices ගියා. ඊට පස්සෙ ගියා රණබිමෙන් නිවහනට කියල වැඩසටහනක්. යුදබිමේ ඉන්න සෙබළු ගෙවල්වලට එවපු පණිවුඩ ඒකේ විකාශය වුනා. දුරකතන දුර්ලභ එ් කාලේ සෙබලු හිටපු ගෙවල්වල හැමෝම ඒක ඇහුවා. හවස 6 ප්‍රවෘත්ති වලට පස්සෙ ගියා එළවළු ,මාළු මිළ ගණන් වැඩසටහනක්.ඒකට අනුග්‍රහය දැක්වුයේ ලංකා බැංකුව. වැඩසටහනේ අතරතුර
ලංකා බැංකුවයි මේ ඔබේ
ජාතියේ නිධානයයි.....
ඔන්න ඔහොම සිංදුවකුත් ගියා. අපි කැමති වුනත් නැති වුනත් අපිට එ්වා අහන්ඩ වුනා. වෙන චොයිස් නෑනේ. ගුවන්විදුලි නාට්‍ය කියන්නේ ඒ කාලේ ගුවන්විදුලියේ තිබුණ ප්‍රධාන අංගයක්.
මුවන්පැලැස්ස, සෙපෙට්කෝ මහත්තයා වගේම බ්‍රහස්පතින්දාට ගිය ගොපළු කන්දේ විලාපය, හරියටම රෑ දොළහයි වගේ හොල්මන් කතා වගේම රහස් පරීක්ෂක නාට්‍යත් පට්ට .පස්සෙ කාලෙක ආපු සිරස fm එකටත් මේ ගුවන්විදුලි නාට්‍ය සංස්කෘතිය මඟ හරින්න බැරිවුණා. සාතන්ගේ පුත්තු කියල නාට්‍යක් සිරසෙත් ගියා.මේක කිච කරල පච වෙලා ගියේ ශ්‍රී fm කරපු කණාමැදිරි රාත්‍රියෙන්.
ඉරිදට උදේ 11ට වගේ විහිළු වැඩසටහනක් ගියා. ඒකට අනුග්‍රහය දුන්නෙ සිංහ පට්ටම් කණ්නාඩි.
හවසට ගියා අම්බිගා ගීතයෙන් ගීතය. ස සයන්න කිව්වම සයන්නෙන් සිංදුවක් කියනවා. ඒ කාලේ සුපර්ස්ටාර් වුනේ අම්බිගා ගීතයෙන් ගීතය තමයි.
මට මතක හැටියට 95,96 වගේ තමයි සිරස පටන් ගත්තේ. සින්දු මැද්දේ හිරවෙන, එහෙම හිරවුනාම සිදුවු ප්‍රමාද දෝෂයට බලවත් කණගාටුව පළ කරපු ගුවන් විදුලි සංස්ථාවට වඩා stereo sound ගෙනාපු සිරස නැඟල ගියා. විනයක් ඇතුලේ හිරවුනු අදහස් ප්‍රකාශ කිරිල්ලෙ ඇතුලේ ගිරා කියවීම අලුත් අත්දැකීමක් වුනා. මුල් දවස්වල ඕකෙ විකාශය ආරම්භ වුනේ උදේ 8,ට 9ට විතර. ඒ වෙනකල් අපි බලන් හිටියා. ලස්සන පැහැදිලි සින්දු අහන්ඩ.
1997 අවුරැද්දේ දවසක මට අවස්ථාවක් හම්බ වුනා කොත්මලේ fm එකේ වැඩසටහනකට යන්ඩ. ඉස්කෝලේ උගන්නපු ගුරුතුමියටත් කිව්වා අහපන් කියලා මොකෝ මම හිතුවෙ ඒක live broadcast කරයි කියලා. ගියාට පස්සෙ තමයි විස්තරේ තේරුණේ. රෙකෝඩින් එක තිබුණේ එළියේ corridor එකක. ඒ කාලේ චූන් පාන් කාරයෝ නැතිවුනාට ලොතරැයි කාරයෝ හිට්යා. උන් යන වෙලාවට රෙකෝඩින් එක දඩස් ගාලා නතර කරනවා. ඊට පස්සෙ ආයේ පටන් ගන්නවා. එහෙම තත්වයක් තමයි ඒ කාලේ කොත්මලේ fm එකේ තිබුණේ.ගියපු වැඩසටහන ඊටත් මාස දෙකකට විතර පස්සෙ කපල කොටල broadcast කරා.පොඩිකමට ඒක ලොකු අත්දැකීමක්.වැඩසටහන ඉවර වුනාම කවකටු පෙට්ටිකුයි පොත් වගයකුයි තෑගිත් ලැබුණා.එ් අපි පොඩිකාලේ රේඩියෝ .
දැන් . රේඩියෝ චැනල් බර ගාණක්. අහනවට සල්ලිත් දෙනවා. අනේ අපෙනුත් මල් ගන්ඩකෝ කියනවා වගේ අපේ එකත් අහල බලන්ඩ කියනවා. හරි අමාරුවෙන් ගේමක් දීල පැයකට සින්දු 7-8ක් play කර ගන්නවා. ඒ තරමට වෙළෙඳ දැන්වීම්.හවසට හැම එකේම පිරිත්.ඒ අස්සේ සුදර්ශන ගුණවර්ධනලා ගුවන්විදුලි සංස්ථාව ගොඩ ගන්නත් හදනවා. Tv පැතිරෙද්දි අපි හිතුවෙ ඒක radio වල මළගම කියල. හැබැයි ඒක එහෙම වුනේ නෑ. තාමත් රේඩියෝ හුස්ම ගන්නවා. ඒ හුස්මෙ සද්දෙ අපිටත් ඇහෙනවා.