Sunday, July 30, 2017

හඳට Shortcut

මේක කෙටිම කෙටි සටහනක්.

මේ දවස්වල බුකියේ ගංජා හෙවත් කංසා ගැන පොඩ් සාකච්ඡාවක් යනවනේ. චින්තන ධර්මදාස එහෙම මේ දවස්වල බුකිය පැත්තෙත් කංසා ගැන කතා කරන්ඩ අගෝස්තු 01දා හවස 3ට මහවැලි ශ්‍රවණාගාරයට එන්ඩ කියනවා ඕන්.මේ ගංජා ගැන මම අහපු කතාවක්.

    ශක්‍රයා හැමදාම උදේට මහපොළොවට පොරගෙ බැල්මට් එක දානවලු.(දැන් දාන්නෙ නැතිව ඇති. සන්නස්ගල එයාගේ "ගෙම්බා" පොතෙත් තැනක කියනවා  ශක්‍රයා කියන්නෙ හෙන පැණියය කියල හිටන්)
ඔන්න ඔහොම බැල්මට් එක දාද්දි මිනිහා දකිනවා ⁣sorry ශක්‍රයා දකිනවා එක මිනිහෙක් හැමදාව දවස තිස්සෙම හිනාවෙලා ඉන්නෙ. මූ ඉන්නෙත් පැලක. ශක්‍රයටත් ෆුල් අප්සට් ,ඇයි යකෝ දෙයියොවත් එහෙම ආතල් එකේ නෑනේ..ඊළඟ දවසේ උදේම ශක්‍රයා රබර් ඇහැ දාගෙන බලන් ඉන්නවා අර මෑන්ස් මොනාද කරන්නේ බලන්ඩ. මෑන්ස් උදේම නැගිටිලා එළියට එනවා. ඇවිල්ල මිදුලේ තියෙන මල් ගස් සෙට් එකක් ඉඹගෙන යනවා. වැඩේ මාට්ටු. ශක්‍රයා හැරෙන තැපෑලෙන් මල් පැළයක් අරන් දිව්‍ය ලෝකේට යනවා sorry අන්තරස්දාන වෙනවා. දේව සභාව රැස්වෙලා අයිටම් එක රස බලනවා. සුපිරි. දෙයියන්ටත් ආමේන් කියවෙනවා. Sorry ජය ශ්‍රී කියවෙනවා. අන්තිමට ශක්‍රයා මේ පැලේට නමක් දානවා. ඒ නම තමයි තෛරයිලෝක්‍යවිජයා.ඉතින් දෙයියොත් කංසා උරනවා. අපිත් කංසා උරනවා. අපි උරද්දි හාන්දුරුවොයි ආණ්ඩුවෙ පොලිසියයි එපා කියනවා.

Friday, July 28, 2017

අනාගත ත්‍රස්තවාදී රාජ්‍යයක් උදෙසා

   වාසෙට්ඨ්‍ය සහ භාරද්වාඡ බ්‍රහ්මණයා අතර ජාතිවාදය සම්බන්ධයෙන් යම් විවාදාත්මක ඇතිවිය.එහිදි ගෞතම බුදුන් ජාතිවාදය අරඹයා මෙ⁣ය දේශනා කරන ලදි.

වාසෙට්ඨ්‍ය
තෘණද ,වෘක්ෂද දැනගනුව
ජාතියට අයත් වූ සළකුණු එහි අැත.
පණුවන් ,පතංගයන් හා අනේකවිධ වූ  කුහුඹුවන් දැනගනුව
ජාතියකට අයත්වූ සළකුණු ඇත
උරග ඝනයේ සත්වයන්ද ජලයෙහි වසනා මත්ස්‍යයන්ද අහසෙහි පියඹා යන පක්ෂීන්ද දැනගනුව
ජාතියට අයත් වූ සළකුණු උන් කෙරෙහිද අැත
එහෙත් මිනිසුන් අතර ජාතියට අයත් සළකුණු නැත
මිනිසුන්ගේ කෙස් හිස් ඇස් කණ් කට තොල් බැම යන මේ සම්බන්ධයෙන් එබඳු සළකුණක් නැත්තේමය.
එබැවින් මිනිසුන් එකම ජාතියකි
ඔවුන් අතර වෙනස නමෙන්ම පමණි

-සුත්ත නිපාතය, වාසෙට්ඨ්‍ය සූත්‍රය -
  
සාමාන්‍යයෙන් මම මුහුණුපො⁣තේ සැරිසරන විට ජාතිවාදි පෝස්ටුවක් දුටු සැනින් අදාල fb සාමාජිකයගේ wall එකට යෑමේ පුරුද්දක් ඇත. ඒ හුදෙක්ම කාලකණ්ණි විනෝදයක් ලබා ගැනීමට විනා වෙන යමකට නොවේ.කලකට පෙර මහින්ද අබේසුන්දර ITN විපරම ලියන විටද මම පුරුද්දක් හැටියට  7.25 පමණ වනවිට ITN බැලුවේද එම විනෝදය සඳහාමය.

   බොහෝවිට ජාතිවාදි උන් දෙවර්ගයකි.
        01.පැවැත්ම උදෙසා ජාතිවාදය වපුරන්නන්
        02.මෝඩකමට ජාතිවාදය වපුරන්නන්.

මින් දෙවෙැන්නෝ පළමුවැන්නන්ගෙන් යැපෙන අතර, පළමු වැන්නේ දෙවැන්නන් නිසා ජීවිකාව සරිකර ගනී. මීට සමාන්තරව සියලුම අාකාරයේ ජාතිවාදීන් සිංහල මුස්ලිම් දෙමළ ඔවුනොවුන් අතර යැපේ. ඉහත පළමුවැනි කොටස හාමු පන්නයේ අයවලුන් වෙති. ඔවුන් කාරයක යන එන ගමන් බුකියට වෛරී විඩියෝවක් දෙකක් share කරති(ගිහි පැවිදි). ඉතින් දෙවැනි පිරිස අරමුදල් රැස්කර දෙති. මේ දෙවැනි පිරිස සම්බන්ධයෙන් පොදු නිරීක්ෂකයන් තිබේ. මොවුන් බොහෝවිට අඩු අධ්‍යාපනයක් ලැබූ, ප්‍රසිද්ධ පාසලකට හෝ විශ්ව විද්‍යාලයකට යෑමට බැරිවු පිරිසක් වේ(අති බහුතරය ).නැත්නම් මැදපෙරදිග හෝ කොරියාවේ රැකියා කරන අයවලන්ය. තම තමන්ගේ ජීවිතවල අසාර්ථකත්වයට , අපේක්ෂා භංගත්වයට ජාතිවාදය ආගම්වාදය සරුපසකි.එවිට සියලුම වැරදි දේශපාලුවගේ,දමිළයගේ,මුසල්මානුවගේ, සිංහලයගේ පිටේ පැටවිය හැක.සාපේක්ෂව හොඳ රටවල ජීවත්වෙන අයවලුන් මෙවැනි දෑ වලට හසු වන්නේ කලාතුරකිනි.

  බ්ලොග්කරු මෙම සටහනට අදාල හෙඩිම යෙදීමට ⁣හේතුව මුහුණුපො⁣තේ සැරිසරන භික්ෂූන් වේ. මම මුලින් සඳහන් කළ ආකාරයටම භික්ෂුවක් මුහුණුපො⁣තේ දුටු සැනින් ඔහුගේ වෝලය පරීක්ෂා කර බලමි.ඉතාම කලාතුරකින් නොවන්නට සෑම භික්ෂුවක්ම යම් ජාතියකට අදාලව ඉතාම වෛරී සහගත දේවල් සටහන් තබති. මොවුන්ට තමන්ගේ ශාසතෘ දෙසූ දහමක් share කිරීමට කාලයක් නොමැති තරම්ය. දුක්ඛිත කාරණය වනුයේ ඉතාම තරුණ අවුරුදු 18,20පමණ හිමිවරුන් අති බහුතරය උග්‍ර ජාතිවාදයෙන් ඔලු සේදි තිබීමයි.එබැවින් අනාගතයේ හිත පහදවා ගැනීමට පන්සලට යන එකා එළියට එන විට මෛත්‍රිය   වෙනුවට වෛරයෙන් මුසපත් වනු ඇත. මෙම හිමිවරුන් වර්තමානයේ අදහනුයේ බුදු බණ වෙනුවට එක එක සේනා , බලකාවල හිමිවරුන්ගේ ත්‍රස්තවාදී බණ වේ. අනාගතයේ ඔබේ ළමයා ඉරිදට දහම් අධ්‍යනය ලැබීමට මෙවැනි ත්‍රස්තවාදී පන්නයේ හිමිවරුන් ළඟට යනු ඇත. මුස්ලිම් පල්ලියෙන් ළමුන්ගේ ඔලු සෝදන්නේ යම්සේද එවැනිම ආකාරයෙන් පන්සල්වලද ඔලු සෝදනු ඇත.දැනටමත් වේ.
සටහන මුලදි උපුටා දක්වන ලද්දේ ගෞතම බුදුන් ජාතිවාදය අරභයා වාසෙට්ඨ්‍ය හට දේශනා කරන ලද්දකි. වැරදීමකින් හෝ ගෞතම බුදුන් අද වැනි දිනෙක එවැනි දෙයක් දේශනා කරානම් මෙරට බලකා හිමිවරුන් කුලප්පු වනු ඇත.අස්ගිරිය මෙයට විරුද්ධ වනු ඇත. සහජීවන බණ දෙසන බුදුන් NGO කාරයෙක් ලෙස හංවඩු ගැසෙනු ඇත. බණ කියන්ටත් රටක් තියෙන්නෙ ඕනැ යයි බුකි පිංවතුන් හඬ නගනු ඇත.
  ඉතාම ඉක්මනින් ඉස්ලාම් කතොලික බෞද්ධ භේදයකින් තොරව දහම්පාසල් යම් අධීක්ෂණයක් කළ යුතු බව මගේ හැඟීමයි. මෙවායේ මොනව වෙනවද යන්න කවුරුත් දන්නෙ නැත. එසේ නොවන්නට අනාගත ත්‍රස්තවාදීන් දහම්පාසල් වලින් පෝෂණය වනු ඇත.

Thursday, July 27, 2017

කුණු ගැන රිලා කතාවක්

නිධාන කතාව
   යටගිය දවස බරණැස් නුවර බ්‍රහම්දන්ත නම් රජ දරුවකු රාජ්‍ය පාලනය කරද්දි...... හෝව් හෝව් හෝව් ඒ රජ දරුවා දැන් ලොකුවෙලා. මේක බණ කතාවක් නෙවේ කුණු කතාවක් හරිය.ඒ නිසා එහෙම හිතපු උන් හැරිලා පලයව්.

මේකයි seen එක. ඔන්න එකොමත් එක රටක හිටියලු රිලව් සෙට් එකක්. ඒ කියන්නේ නායක රිලව සහ අවශේෂ රිලව් ටික. උන් ඉතින් තියෙන දෙයක් කඩා වඩාගෙන දැහැමෙන් සෙමෙන් රිලා පැටියෙක් දෙන්නෙක් හදාගෙන දෙයියනේ කියල හිටියලු.ඔන්න ඔහොම ආතල් එකේ ඉද්දි ආතල් කුඩුවෙන්න වැස්ස කාලේ ආවා කියමුකො. දැන් ඉතින් රිලවු ටික හෝල් සේල් එකේ තෙමෙනවලු.නායක රිලවට මේක බලන් ඉන්ඩ බැරිව ඇඬුනලු තනි ඇහැට.දවස් ගානක් මේක දැකල දරා ගන්ඩ බැරිව අනෙක් රිලව් එක්ක සාකච්ඡා කරල තීරණය කරාලු වැස්සෙන් බේරෙන්න ගෙයක් හදන්ඩ.ලොක්කම වැඩ ටික බෙදුවලු.පන්සල පැත්තට යන රිලවට දුන්නලු ප්ලෑන අඳින්න. මොහොමඩ්ලගේ ගෙවල් පැත්තට යන එකාට දුන්නලු ලී හොයන් එන්ඩ. ලෙච්චමීලගේ ගෙවල් පැත්තට යන රිලවට දුන්නලු වහලට දාන්න දෙයක් හොයන්ඩ. වැඩේ කියන්නෙ කරුමෙට ඊළඟ දවසෙ ඉඳල පෑව්වලු.දැන් ඉතින් ආයෙමත් අපේ රිලා අයියල කාලා බීලා පැටියෙක් දෙන්නෙක් හදන් දෙයියනේ කියල හිටියලු.

නූතන කතාව

  ඔන්න එකොමත් එක රටක අවුරුදු මාසෙක මීතොටමුල්ල කියන පැත්තක හායි ගාලා කුණු කන්දක් නාය ගියාලු. මේ ඊට ටික දවසකට පස්සෙ ,

"පව් නේද මෙයා අර යටවුණු මිනිස්සු,මම නම් ආයේ  lunch sheet වල කෑම ගේනනෙ නෑ මෙයා.මම ගත්තා lunchbox එකක්. මේ රෝස පාටයි. සමනළයෙකුත් ඉන්නවා පියනේ"

" අඩෝ ඊයේ මම foodcity ගිහින් බඩු ටික අරන් cashier එක ගාවට ගියාම cashier කෑල්ල බඩු දැම්ම බන් ෂොපින් දෙක තුනකටම,මම ඒකිට කිවිවා නංගි වෙලා තියෙන දේවල් පේන්නැද්ද ,ඔය ටික එක බෑග් එකකට දාල දීපන් කියල. කෙල්ල රතු වුනා මචං"

"සුදූ අපි කොන්ඩම් පාවිච්චි කරන එක අතඅරිමුද, දිරන්නෙත් නෑනේ පැටියෝ. අපි හෙටම ගිහින් ඔයාට injection එකක් ගහමු. හා කියන්නකො ඉතින්"

Two weeks later

"Uncle මට රැපියල් 100ක lunchsheet දෙන්නකො"

"නංගී ඔය බඩු ටික වෙන වෙනම පොලිතීන් බෑග් දෙකක දාලා දෙනවද"

Wednesday, July 26, 2017

තෙල් ටැංකියක් කතා කරයි

කඩ කාමර කුලියට දෙන
ගෙවල් කුලියට දෙන
උඩතට්ටුව කුලියට දෙන
කඩ කාමරේ කුලියට ගත්තු
ගෙවල් කුලියට ගත්තු
උඩතට්ටුව කුලියට ගත්තු

උඹ

ඇයි බං මං කුලියට දෙද්දි කෑ ගහන්නෙ?
වේලි වේලි හිටිය මදිද මං?

Monday, July 24, 2017

TV බලන්නෙ වෙලාව බලන්නද?

   කාර්යබහුලත්වය නිසාවෙන් මම Tv බලන්නේ බොහෝ අඩුවෙනි. බැලුවද sattelite tv එකක් ඇති නිසාවෙන් පිටරට චැනලයක් බලන්නෙමි. ලෝකල් චැනලයක් බැලෙන්නෙ ප්‍රවෘත්ති වේලාවට හෝ නිවැසියන් වෙන යමක් බලනවිට පමණි. මේ සටහන ⁣ලියැවෙන්නේ පසුගිය කාලය පුරාවට මා ලද නිරීක්ෂණ මතිනි.
   
      සාමාන්‍ය පරිදි රූපවාහිනී වැඩසටහන ඉදිරිපත් කෙරේ.හදිසියේම වැඩසටහන ඉදිරිපත් කරන්නා මෙසේ කියයි.
"අපි වෙලාව බලලා ඉමු". ඉන් අනතුරුව රෑපවාහිනී තිරය මත වෙළෙඳ දැන්වීමක්ද සමඟින් වෙලාව දැක්වේ. නැවතත් වැඩසටහනට යොමුවේ. මෙය Musical chart show එකක්ද, දේශපාලන විවාදයක්ද, වෙනයම් වැදගත් සංවාදයක්ද යන්න කිසිසේත්ම අදාල නොවේ. රාත්‍රි 7 පුවත් ප්‍රකාශය අවසන් නැතත් 7.30ට ප්‍රවෘත්ති ප්‍රකාශය මැදද අපට වෙලාව කියනු ලැබේ. ⁣ප්රේක්ෂකයාට වේලාව දැනුම්දීම රූපවාහිනී ආයතනවල ප්‍රමුඛතම කාර්යය වී ඇත.
      මීට වසර ගණනාවකට පෙර මෙය ආරම්භ වූයේ පැයෙන් පැයට වේලාව දැනුම් දීමටය. පසුව මෙය පැය බාගෙන් බාගෙට ඉදිරිපත් විය.දැන් එය පැය කාලක් දක්වා අඩුවී ඇති අතර අනාගතේ විනාඩි 5න් 5ට වේලාව දැන්වූවත් පුදුමයකට කාරණයක් නොවේ. මේ අපේ රටේ රෑපවාහිනී ආයතනවල මුදල් ගරනා හැසිරීමක් වේ. ප්‍රවෘත්ති ප්‍රකාශයක් අතරතුර වුව වේලා ඇඩ් එක දැමීමට තරමු එය අවිනීත වී ඇත.අහෝ අසරණ රූපවාහිනී වැඩසටහන් කළමනාකරුවන්.  නිවෙස්වල  ඔරලෝසුවක් නැති බවට මොවුන් සිතා ඇති හැටියකි. ඉතින් උදේ ඉඳන් රෑ වනතුරු පැය කාලෙන් කාලට ඔවුන් අපට වෙලාව මතක් කරති.
 
  මුලින් සඳහන් කර පරිදි මා බොහෝවිට විදෙස් නාලිකා නරඹන අතර එම නාලිකාවල කිසිම විටක වැඩසටහන් මධ්‍යයේ එවැනි ගොන්පාට් දමන්නේ නැත. විශේෂයෙන්ම ඉන්දියානු රූපවාහිනී නාලිකාවල වෙළඳ විරාමයකදී වුව තිරයෙ කොනකින් නැවත වැඩසටහන පටන් ගන්නා කාලය count down වේ. ⁣එය බොහෝවිට විනාඩි 2ක්,3ක් වියහැක. මෙවැනි සරල උපක්‍රමයක් වත් තවම මෙරට රෑපවාහිනී නාලිකා අත්හදා නොබලයි. දේශීය නාලිකා වලින් ක්‍රිකට් තරඟ නරඹන්නන්ට ඊටත් වඩා අසාධාරණ සිදුවේ. පන්දු වාරයක අවසන් පන්දුවට සිදුවන දේ සම්පූර්ණයෙන්ම නැරඹීමට අවස්ථාව උදාවෙන්නේ කලාතුරකිනි.හයවෙන් පන්දුව wide හෝ no ball වුවහොත් බොහෝවිට ඊළඟ පන්දුව නැරඹීමට අවස්වක් උදා නොවේ. තරඟය අතරතුර තිරය කුඩාවී වෙළඳ දැන්වීම් විකාශය වේ. විදෙස් නාලිකාවලද එවැනි දැන්වීම් ගියද තරඟයේ පන්දුව සජීවී අවස්තාවක එසේ දැන්වීම් පළ කිරීම තහනම්වේ. නමුත් මෙරට නාලිකාවල පන්දු යවන්නා දිවඑනවිට, පිතිකරු පහර එල්ල කර ලකුණක් සඳහා දිවයන විට පවා තිරය ඇමීබාකරණය වී දැන්වීම් ප්‍රචාරය වේ.

    රූපවාහිනී නිෂ්පාදකවරුනි ඔබලාගේ ඉලව් වේලා පෙන්වීම සහ ප්රේක්ෂක රසවින්දනයට බාධා වන පරිදි මැදින් පැනිලි නතර කරන්න. අප රූපවාහිනී නරඹන්නේ වෙලාව බැලීමට ඔරලෝසුවක් නැතිකමට නොවේ. මිනිසුන්ගේ රසවින්දනයට ගරු කරන්න.

Tv බලනවට සල්ලි එපා, පෙන්නන එක හරියට පෙන්නපන්

Wednesday, July 19, 2017

දේශපාලනේ දෙයියන්ට, අපිට තියෙන්නේ චන්දෙ දෙන්ඩ

මේක කීපදෙනෙක් මගෙන් අහපු දෙයක්. ඇයි බන් fb එකේ අපි වගේ ආතල් එකක් අරන් ඉන්නැතිව politics කරන්නෙ. Boring නෙ බං. මේ ඒකට දෙන්න හදන පිළිතුරක්.

Social media , ජාතකේ හැටියටම මේක පොදු අවකාශයක් නේ. එතකොට අපිට මේකේ වෛයිවාරණ මාදිලිවල උන් සෙට් වෙනවා. ගුරුවරයාගේ, දේශපාලුවගේ, බඩු කාරයාගෙ නඩු කාරයාගෙ වගේම තෙල් බේත් කාරයා වෙනකල් මේ පොදු අවකාශයේ තමන්ගෙ පරිමාණයට කරක් ගහනවා. මං හිතන්නේ සමාජ මාධ්‍යවල තියෙන ලස්සනත් ඒක. අපි පත්තරයක් ගත්තොත් අපිට හම්බවෙන්නෙ ,හරි tv එකක් බැලුවොත් අපට ගැටන්නෙ ඒවගෙ හිමිකරුවන්ගෙ අවශ්‍යතා මිසක් අපේ ඒවා නෙවෙයිනේ. හැබැයි මේකේ අපිට ඕනෙ video එකක්Photo එකක්, දේශපාලන අදහසක් බෙදා ගන්නවා. ඉතින්  අපට පේනඩ ගන්නවා කොළඹ  හතෙත් බයියො ඉන්නවා වගේම රාජාන්ගනයෙ යාය දෙකෙත් අදහස් වලින් posh උන් ඉන්න වග.ඒ කොහොම උනත් මිනිස්සු වැඩිය දේශපාලනේට කැමති නෑ. අපි ඕවට නෑ වගේ තමයි ඉන්නෙ . හරියට අපි traffic එකක හිර වෙල ඉද්දි, ⁣traffic කියන්නෙ අපිටත් එක්ක බව නොදැන නොදොකිං traffi කියනවා වගේ නොදැන කරන්නෙත් දේශපාලනයක්. ඇත්තටම අපිට දේශපාලනය නොකර ඉන්න පුලුවන්ද. මිනිස්සු කියන්නෙ කවුද?

මිනිහා කියන්නෙ ,
    *සමාජයීය සත්වයෙක්
    *ලිංගික සත්වයෙක්
    *දේශපාලන  සත්වයෙක්

සමාජයීය සත්වයෙක්
   කොහේ හිටියත් අපිට ජීවත් වෙනවා කියල හැඟෙන්න නම් අපිත් මේ සමාජෙම කොටසක් කියල දැනෙන්න එපැයි. හිරේ ඉන්න එකෙකුට වුනත් ඌ වටේ එකෙක් දෙනනෙක් ඉන්නවා.කවුරුහරි හරි කියනව නම් අපිට ජීවත් වෙන්ඩ සමාජයක් ඕනෙ නෑ තනියම ඉන්ඩ පුලුවන් කියලා, එහෙනම් ඌ අනිවාර්යයෙන්ම පිස්සෙක් වෙන්ඩම ඕනෙ. ඒ නිසයි සමහර සුළුවට පටන් ගන්න අදහසක් උනත් මහා පරිමාණ දේශපාලන ව්‍යාපාරයක් වෙන්නෙ. හරියට වැහි බිංදුව බිංදුව එකතු වෙලා ලොකු වැව් පිරෙනවා වගේ.

ලිංගික සත්වයෙක්

   මිනිසා කියනනෙ ලිංගික සත්වයෙක්.සුචරිතවාදී මහත්වරු බොහොමයක් කැමති වුනේ නැතත් ඇත්ත එ්ක.අපි ජීවිතේ ගන්න⁣ බොහෝමයක් තීන්දු තීරණ පිටිපස්සෙ අපිටත් හොරෙන් ⁣මේ ලිංගිකත්වය කියන කාරණය හොල්මන් කරනවා.මො⁣හොතකට ජීවිතේ දිහා ආයෙමත් හැරිල බැලුවොත් අපි ගිය tution වෙනස් කරල තියෙනවා, යන බස් කෝච්චි මිස් කරල, A/L කරපු විෂයයන්  වෙනස් කරලා, යන campus එක සුහද මාරු කරලා, උදේට අඳින්න හිටපු ඇඳුම හදිසියේ change කරලා, සමහර බැඳපු ලොකු දරුවන් ඉන්න උදවිය පවා office එකේ, trainඑකේ ආශාවෙන් යන්න හේතුවත් ලිංගික හේතුවක්.සමහර  විට ඒ හේතුව ඒක පාර්ශ්වික ආදරයක්.කවුරුහරි කියනවනම් අපිනම් ඕවට නෑ. අපි පට්ට අලිංගිකයි කියල, මහත්තයෝ , නෝනේ ඔබතුමාලා තුමීලා නෂ්ඨකාමයට බෙහෙත් ඇරන් එන්න.

දේශපාලන සත්වයෙක්

    මිනිහා කියන්නෙ ඉපදෙන්නත් කලින් ඉඳලම දේශපාලනේට නතු වෙන එකෙක්. කෙටියෙන්ම කිව්වොත් අපි ළමයි කීදෙනක් හදනවද කියන එක පවා දේශපාලනිකයි.දවල්ට කන්නෙ මොනවද කියන එක පවා අන්තිමට බලද්දි ලෝක දේශපාලනය රටේ දේශපාලනය එක්ක ගැට ගැහිලා. බොරුනම් සිරිමා ආච්චිගෙ ආණ්ඩුව කාලේ හිටපු කෙනෙක්ගෙන් අැහුවොත් කියයි. එහෙම මිනිස්සු කවුරුහරි කියනව නම් අපි නම් දේශපාලනේ කරන් නෑ කියල, ඒ කතාවත් දේශපාලනිකයි. එතන තියෙන්නෙ පවතින දේශපාලන තත්වය ප්‍රශ්න නොකර ආණ්ඩුව කියන දෙයක් අහන දෙන දෙයක් කන වහල් දේශපාලයක්.ආණ්ඩුවක් වුනත් කැමති වෙන්නෙ රටේ බහුතරයක් ඒ වගේ මතයක ඉන්නවානම්. සීසර්ගෙ දේ සීසර්ට දෙවියන්ගෙ දේ දෙවියන්ට වගේ එතකොට දේශපාලුවන්ට උන්ගෙ දෙයක් කරන් ඉන්න පුලුවන්.අපිට තියෙන්නේ චන්දයක් දවසට කවුරුහරි මස් පර්වතයකට කතිරෙ ගහන එක. කාලෙකට පස්සෙ උන්ගෙම ලමයෙක්ට කතිරෙ ගහනවා. එහෙම කරන ගමන් කියමු අපි නම් දේශපාලනේ කරන් නෑ. දේශපාලනේ අපිට කරනවා, කෙළත් නැතිවම

Monday, July 17, 2017

ආගම සහ කෑම

  කලින් සටහනක ලිව්වා  වගේම ආගමක් කියන්නෙ lifestyle එකක්. එතකොට එහෙම ආගම් එක්ක බැඳුණු ආහාර රටාවකුත් තියෙනවා. කිරිබත්, මුංකැවුම්, වටලප්පන් , ඉට්ලි කිව්වම අපට නිරායාසයෙන්ම සමහර සංස්කෘතික ලක්ෂණ මතක් වෙන්නෙ ඒකයි. වැඩේ තියෙන්නෙ ආගමික, සංස්කෘතික වෙනස්කම් එක්ක තියෙන ආහාර රටා වලින් අපිට set වෙන එ්වා අපි පිළිගත්තට අනෙක් ඒවා මාරාන්තික විදියට බැහැර කරන එක තව විදියකට බැලුවොත් joke එකක්.
  හැම ආගමක්ම හැදෙන්නේ ඒ අවට පරිසරයට අනුරෑපව. ඒ නිසයි ආගම් වලින් යම් පරිසර තත්වයක් ගැන කතිකාවතක් හැදෙන්නෙ. ඉස්ලාමය ගත්තොත් ඒ ආගමේ නිර්මාතෘට අනුව මුලු පෘථිවියම කාන්තාරයක්. බුද්ධාගම,ජෛන ,හින්දු බැලුවත් ඔවුනට අනුව මුලු පෘථිවියම හැදිල තියෙන්නෙ වර්තමාන ඉන්දියානු පරිසර තත්වයට අනුව. ඒකනේ බෞද්ධ හාමුදුරුවරු වස් වසනවා කියල බොරුවක් කරන්නේ.ඇමෙරිකාවේ ,එංගලන්තයේ ,කැනඩාවේ ඕස්ට්‍රේලියාවේ ඉන්න හාමුදුරුවෝත් වස් වසනවා. ඒ රටවල් වලට අපට තියෙන මෝසම් කාළගුණයක් ඇත්තෙත් නෑ. සිවුර ගත්තත් එච්චරයි. ඒක අර කියපු රටවල් වලට ගැලපෙන්නෙ නෑ. ආයෙත් ඉස්ලාමය පැත්තට හැරුනොත් ඔවුන් ඔය අඳින සාම්ප්‍රදායික ඇඳුම් නිර්මාණය වෙලා තියෙන්නෙත් දූවිලි පිරුණු කාන්තාර තත්ව⁣වලට, දූවිල්ලෙන් බේරගන්න. ගැහැනුන්ට කාන්තාරෙ දූවිල්ලෙන් බේරෙන්න තියෙන හොඳ විදියක් කොණ්ඩය වැහෙන්න රෙදි කඩක් දාගන්න එක. හැබැයි ඒක කාන්තාරෙට match වුනාට අනෙක් තැන් වලට ගැලපෙන්නේ නෑ.
  ආයෙත් ආහාර පැත්තට  ආවොත් අපට හොඳට පේන කාරණයක් තමයි ඉන්දියාව මූලික කරගෙන බිහිවුණු හැම ආගමකම වගේ vegetarian ල පැත්තට බරයි. අදටත් ඉන්දියාවෙ බහුතරයක් vegetarians ලා. ඉන්දියාවේ බිස්නස් කරන mcdonald කාරයට වුනත් මේ තත්වෙට අනුගත වෙන්ඩ වෙනවා. කො⁣හෙම වුනත් ඉන්දියන් කාරයන්ට උන්ගෙ තියෙන ආහාර රටාව එක්ක pure vegetarian වෙලා අවුලක් නැතිව ඉන්ඩ පුලුවන්. හැබැයි මෙහෙ ඉන්න උන්දැලත් පරිප්පුයි සම්බෝලයි කන ගමන් vegetarian  වෙන්ඩ ගියාම නතර වෙන්නෙ අන්තිමට ලෙඩ්ඩු ටිකක් වෙලා.

   බුද්ධාගම පැත්තට බැලුවොත් මාංශ අනුභවය එපා කියල නෑ. ප්‍රාණගාතය එපා කියනවා.ප්‍රාණගාතය එපා කියන ගමන් තමන් වෙනුවෙන් නොමරපු එකෙක් කෑවට කමක් නෑ කිව්වම එතන තියෙන්නෙ පරස්පරයක්.මරන් නැතිව කන්නත් බෑ. කන්නැත්නම් මරන්නනෙත් නෑ නේ. ඉතින් මේ අර්බුදය වහගන්ඩ බෞද්ධ ඈයෝ කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරත් ඇත්ත කතාව එතන තියෙන්නෙ පරස්පරයක්.
  කෑම බීම එක්ක හරිම නිදහස් ආගමක් තමයි ක්‍රිස්තියානිය. එයාලට ඒ හැටි අවුලක් නෑ. මේ මාතෘකාව වුනත් කතෝලිකයකුට ක්‍රිස්තියානි කෙනෙක්ට බෝරිං ඇති.
  දැන් ආයෙත් ඉස්ලාමයට. ආහාර එක්ක පට්ට ඇරියස් එකක් තියෙන ආගමක්. ඔවුන් ආහාර එක්ක තියෙන්නෙ නබිතුමා හිටපු කාලේ තියෙන සම්බන්ධයම තමයි. Halal ක්‍රමයට සත්තු මරන් කන එක ඇත්තටම ඒ කාලේ තිබුණ ප්‍රශ්නවලට උත්තර  දීමක්. දැන් ඒ ප්‍රශ්න පත්තරේ වෙනස්. හැබැයි තාමත් දෙන්නෙ පරන උත්තරමයි. හලාල් ක්‍රමයට සත්තු මරන්නෙ සෙමෙන් සෙමෙන් ලේ ගලා යන්න සලසලා. මේකට හේතුවක් තිබුණා, ඒ කාලේ ශීතකරණ නෑනේ. අරාබියේ මිනිස්සු අත්දැකීමෙන් දැන ගත්තා එහෙම ලේ ඉවත් වුන මස් වැඩි කාලයක් තියාගන්න පුලුවන් බව සාමාන්‍ය මැරිල්ලට වඩා. ඉතින් අද කාලයට මේක ගැලපෙන් නෑ. මැරුන සත්තු කන්නෙත් නෑ. ඒකටත් හේතුව කාන්තාර වල ඉන්න විෂ සහිත ශාක කෑමෙන්, විෂ සත්ව ප්‍රහාර නිසාත් සත්තු මැරෙන නිසා. හලාල් ක්‍රමය දිහා බැලුවම තියෙන්නෙ ඒ කාලේ තිබුණ ප්‍රශ්න වලට උත්තර දීමක් මිස අද කාලෙට ඔබින දෙයක් නෙවෙයි.
    ආගම් අදහන අය හිතනවනේ තමන්ගෙ ආගම තමයි හොඳම සහ සත්‍යය කියලා. මෙහෙම ඈයෝ තමය් තමන්ගෙ කෑමට බීමට සීමාවන් දා ගන්නෙ. හින්දු අයට හරක් මස්, මුස්ලිම් අයට උෟරු මස්, ලංකාවෙ බෞද්ධයන්ටත් කුකුලෝ ,මාළු, හාල්මැස්සන් කෑවට හරක එක්ක මොකක්දෝ අනියම් සම්බන්ධයක් තියෙනවා. සමහර විට ඒ ගෞතම බුදුන්ට වැඩිය ධර්මපාල සමීප නිසාද දන්නෑ. සෞඛ්‍යමය කාරණා හැරෙන්නට කෑම බීම වලට ආගම්නිසා සීමා දා ගන්න එක මට අනුව නම් පට්ට මෝඩ කමක්. එහෙම දා ගන්න හදන ආගම් ගැනත් කවර කතාද. කාන්තාරේ ජීවත් වෙන උන්ට හරි ශීත දේශගුණික පැතිවල ඉන්න එස්කිමෝවරුන්ට vegetatian වෙන්න බෑ කියන එක අපි දැනගෙන කිරිබතේ වගේම වටලප්පමෙත් කුකුල් මසේ වගේම හරක් මසේත් රස විඳින්න පුලුවන් නම් එතනයි ලස්සන.

Wednesday, July 12, 2017

මරණය කියන්නෙ Non Return Valve එකක්

   Non return valve එකක් කියන්නෙ එක  පැත්තකට විතරක් යන්න ඉඩ දෙන ගැජමැටික් එකක්. ඒ කියන්නෙ ගියපු පා⁣රේ නම් ආයේ no coming back. මටත් මරණය ගැන තියෙන්නේ අන්න ඒ වගේ හැඟීමක්.
   මිනිස්සුන්ට ස්වභාවයෙන්ම මරණය ගැන තියෙන්නෙ බයක්. ඒ තමන් නොදන්නා කලාපයකට තනියම යන ගමනක් නිසාවෙන් වෙන්න ඇති. මෙහේ ඉද්දි පිරිවර සමඟ හිටියට මැරෙන්නෙ තනියෙන්. මට හිතෙන්නේ මිනිසුන් කලුවරට ,තනිකමට බය වෙන්නෙත් ඒ වගේ තැන් වලදි මරණය ගැන යම් මතක් වීමක්දැනෙන නිසාවෙන් කියලා. ලෝකෙ තියෙන ප්‍රධාන ආගම් කීපයම බැලුවත් ආගම් කතෘවරු සියල්ලම තොරොම්බල් කරන්නෙ මනුස්සයාට ස්වභාවිකව ඇති වෙන මරණය ගැන තියෙන කුතුහලය සහ ඊළඟ step එකේදිවත් මීට වඩා සැපපහසුව ඉන්නෙ කොහොමද කියන කාරණය.ඒක එක අතකට හොඳ marketing strategy එකක්. තියෙන දෙයක් විග්‍රහ කරල අනුගාම්කයෝ හදාගන්නවට වඩා නොපෙනෙන දෙයක් විග්‍රහ කරන එක පට්ට ලේසියි.

   ඉස්ලාමය දිහා බැලුවොත් ඔවුන් කතා කරනවා මළවුන් නැගිටවන දවසක් ගැන. ක්‍රිස්තියානිත් එහෙමයි. මේ ආගම් දෙකේම උප්පත්ති කතාවත් එකමයි. ආදම් එ්වා නම් ගම් එහෙමත් එකමයි. අවසානයත් ටිකක් එක වගේ. දෙකේම තියෙනව අවසාන විනිශ්චයක්. ඊට පස්සෙ පාරාදීසයක සදාකල් ජීවිතයක්. ක්‍රිස්තියානි ආගමේ මේ පාරාදීසේ රජු  යෙහෝවා කියන දෙවියෙක්. ඉස්ලාමයේ නම් කොහොමත් one god show නිසා අල්ලා. ඒ මදිවට ඉස්ලාමය කියන හැටියට ජේසු කියන්නෙ මොහොමඩ් නබිතුමාට කලින් ආපු messenger. මොහොමඩ් නබි තමයි අන්තිම messenger.ඒ කියන්නෙ මේ ආගම් දෙකට අනුවත් මරණට පස්සෙ යම් ජීවිතයක් තියෙනවා.අර පාරාදීසෙට යන්න බැරි අය කෙළින්ම අපායට . ඒ කියන්නෙ අපාය සංකල්පයත් හැම ආගමකම වගේතියෙනවා හරිය.
   හින්දුන්ට අනුව නම් ඔබ මැරුනම කර්ම වලට අනුව තමයි ඊළඟ ආත්මය තීරණය වෙන්නෙ. එයාලට පාත් දෙකක් තියෙනවා. Bright path සහ dark path. ජීවත් වෙද්දි හොඳ කර්ම කරල තියෙනව නම් bright path එකේ ගිහින් මෝක්ෂය ළගා කර ගන්ඩ පුලුවන්. නැත්නම් ආයෙත් ඉපදෙනවා.
    බෞද්ධයෝ නම් කතා දෙකක් නෑ නිවන් දැක්කෙ නැත්නම් ආයේ ඉපදෙනවා. ඒ කියන්නෙ මරණය කියන්නෙ ඔවුන්ටත් changing point එකක්. මේ හැම ආගමකම වගේ තම තමන්ගේ life style එකට එකඟ නම් ගොඩ. නැත්නම් අපායේ. (ආගම් කි⁣යන්නෙ life style එකක්.ඒක හොඳටම ප්‍රකට වෙන්නෙ මුස්ලිම් අයගෙන්) තමන් එක්ක එකඟ නම් හොඳයි. නැත්නම් කෙළවෙනවා. හරියට මහින්ද එක්ක නම් දේශප්‍රේමී වගේ. ඒ කියන්නෙ ඔබතුමන්ලා මොන ආගම ඇදහුවත් වෙන එකෙක්ගෙ අපායක වැටෙනවා.
   අපි බැලුවොත් ඇයි ඉන්දියාවෙ බිහිවෙච්ච ආගම්වලට නැවත නැවත ඉපදෙන චක්‍රයක් තියෙන්නෙත් ඉස්ලාම් ක්‍රිස්තියානි යුදෙව්වන්ට එක්කො පාරාදීසේ නැත්නම් අපාය වෙනනෙත් කියල, එතන තියෙන්නෙ පරිසරයත් එක්ක ඒ මිනිස්සු ගැටුන ආකාරයක්. ඉන්දියාවෙ තියෙන්නේ කාලයකට ගංඟාවල් දෙගොඩතලා යන්ඩ වහිනවා. ඊට පස්සෙ වැඩිය රස්නෙ නැති සුන්දර කාලයක්. ඊටත් පස්සෙ පායනවා අර දරවැන්ත ගංඟාවල් හිඳෙන්නම. අවසානේ අායේ වහිනවා. මිනිස්සු දිගින් දිගටම දකින්නේ මේ සංසිද්ධිය .ඒ නිසයි ඉන්දියානුවන්ට කාලය චක්‍ර්රීය වෙන්නෙ . ඔවුන් මේක ජීවිතේට ආගම් වලට දර්ශනයට හැම දේටම apply කරනවා. ඉතින් ඉන්දියානු ආගම් ඉපදෙනවා මැරෙනවා නැවත ඉපදෙනවා.
    ඉන්දියාවෙන් එපිට මැදපෙරදිග ඇතිවුණ යුදෙව් ඉස්ලාම් ක්‍රිස්තියානි වලට තියෙන්නෙ choice දෙකයි. එහෙම වෙන්න හේතුව ඒ කලාපය පැත්තෙන් ආර්යයන් සංක්‍රමණය වීම. ආර්යයන් කියන්නෙ එඬෙරුන් නිසා ඔවුන් තැනකින් තැනකට සංක්‍රමණය වෙනවා. ඔවුන්ගෙ ඉලක්කය ඉන්න තැනට වඩා හොඳ තණ ප්‍රදේශයක්. ඉතින් ඔවුන්ට සංක්‍රමණය වෙද්දි හම්බ වෙන්නෙ වඩා හොඳ ප්‍රදේශයක්  හෝ හිටියටත් වඩා අවුල් තැනක්. එහෙම බලද්දි ඒ ආගම් වලට අනුව මරණයට පස්සෙත් තියෙන්නේ ඒ වගේ choice දෙකක්.
 
   (මේක ඉවර කරන්ඩ පොටක් එන්නෙම නෑ අයිසේ)
    අපි වගේ නිරාගමික උන්ටනම් මරණය කියන්නෙ ඇත්තටම සුව නින්දක්, good bye එකක්. ආගමික උන්ට අනුව නම් අපි වගේ නියත මිත්‍යාදෘෂ්ටි උන් කොහෙමටත් අපායේ. හැබැයි මට අනුව නම් ඒ ඒ ආගම් වලට අනුව හැම එකම මිත්‍යාදෘෂ්ටි නිසා අපි හැමෝටම යන්ඩ වෙන තැනක් තමයි අපාය. ආයෙමත් කියන්නේ මරණය කියන්නෙ non return valve එකක්, කළු කුහරයක්. මේ අපි හමුවන අවසන් අවස්තාව.නැවත ඉපදීම් නැත.

එහෙනම් මිත්‍රවරුනි අපායෙදි හම්බ වෙමු, beer එකක් බිබී කතා කරමු. සුභ ගමන්.

Friday, July 7, 2017

වෙනස සැපද?

අපි ඇවිදින්නෙමු
ඔවුන් වඩිති
අපි කන්නෙමු
ඔවුන් වළඳති
අපි නිදියන්නෙමු
ඔවුන් සැතපෙති
අපි නව ව්‍යවස්ථා ඉල්ලන්නෙමු
ඔවුන් එපා කියති

Thursday, July 6, 2017

මම රහස් පොලීසියෙන්

    ඔන්න අපේ යාළුවෙක් හිටියා හොඳේ. අපි මිනිහාගෙත් නම නොකියා ඉමුකෝ. මනුස්සයා මීටරේ ඉතින්. කැම්පස් එකෙන් degree එක එහෙම කරල ඉද්දි මිනිහට ඇමෙරිකාවට scholarship එකක් හම්බ වුනා.

     මනුස්සයා මෙහෙ ඉද්දිත් බාටා දෙකක් දාගෙන බුලත් විටක් කාගෙන හිටපු හින්දම අපි මෑන්ට පොඩි උපදෙසක් දෙකක් දීලා තමයි පිටත් කරේ. ඔය සුද්දක්කියෙක්ගෙ කකුලක් එහෙම දැක්කට පිස්සෙක් වගේ බලන්ට එපාය, උස බිල්ඩිමක් දැක්කම හොල්මනක් දැක්ක වගේ බලන් ඉන්ඩ එපාය වගේ සුළු සුළු දේවල්. අන්තිමට මෙහෙමත් කිව්වා,
"තැනකට ගියාම බලපන් වට පි⁣ටේ උන් ඉන්න විදිය. ඒ විදියට තෝත් හිටපං"

  පහුගිය මැයි මාසේ දවසක මනුස්සයා lunch එකට එළියට ගිහින්. කෝම හරි සාමාන්‍ය ප්‍රමාණේ හෝටලයකට මිනිහා ගිහින්. මිනිහගේ ටේබල් එක ඉස්සරහ ටේබල් එකේ ඉඳල තියෙන්නේ හයේ හතරේ උඩු රැවුල් කාරයෝ දෙන්නෙක්. සුද්දෝ දෙන්නා හොට් ඩෝග් දෙකක් කන ගමන් ෆැන්ටා උගුරක් බීලා මෙහෙම කිව්වලු,
  "ෆැන්ටෑස්ටික්"

අපේ එකත් ඇරියේ නෑ. අපි දුන්න උපදෙසත් මතකයිනේ. ටක් ගාලා ළඟ තිබුණ කොකා කෝලා එක බීලා කිව්වලු,
   "කොකෑස්ටික්" කියලා.

එහෙම කියල ටික වෙලාවක් යන්ඩ හම්බවුනේ නෑ සුද්දයියලා දෙන්නා නැගිටිලා එළියට ගිහින්. කෑවට සල්ලි දුන්නෙත් නෑ වේටර්ස්ලා ගේම ඉල්ලුවෙත් නෑ. අපේ එකා හිතුවලු අම්මට සිරි මේ මැයි මාසේ අපේ උන් විතරක් නෙවෙයි සුද්දොත් බුද්ධාලම්බන ප්‍ර්රීතියට දන්සැල් දෙනවනේ හිටං කියලා. එහෙම හිතලා අපේ එක⁣ත් හුටු කියල කාලා මාරු වෙන්ඩ හදලා. එළියට යද්දිම වේටර් කෙනෙක් පැනපු ගමන් බෙල්ලෙන්ම අල්ලලා කිව්වලු ,

" මහත්තයෝ කෑවා නම් බීවා නම් සල්ලි දීලා පලයන් ඉරා ගන්නැතිව"

අපේ එකාත් කිව්වලු,
" ඇයි බං අර ඉස්සරහ මේසේ උනුත් සල්ලි නොදි ගියේ උන් ඇල්ලුවේ නෑනේ තොපි."

වේටර්ට මල පැනලා කිව්වලු

" ඇයි යකෝ මහත්තයෝ තෝ දැක්කෙ නැද්ද උන් උඩු රැවුල් වවන් හිටියේ. උන් NYPD එකෙන්. ඒ කියන්නෙ පොලිසියෙන්"

අපේ හාදයත් මීටරේනේ . ඌ ටක් ගාලා කලිසමේ සිප් එක ඇරල මෙහෙම කිවවලු

"  මම රහස් පොලිසියෙන්"

Wednesday, July 5, 2017

ජෝඩුවක් ගැන සුන්දර කතාවක්


අපේ යාළුවෙක් ළඟඳි විවාහ වුනා. නම කියන්න බෑ. ඒක ඉතින් හරි නෑ නේ.ඉතින් යාළුවා බැඳලා හනිමූන් එහෙම ගිහිල්ලා ඒ දෙන්නගෙ පුංචි ගෙදරට පදිංචියට ආවා කියමුකෝ.
බැඳලා සති දෙකකට විතර පස්සෙ දවසක හැන්දෑවේ අපේ යාළුවා වැඩ ඇරිල ඇවිල්ලා ඇඳුමක් ඇඳගෙන ලෑස්ති වෙනව එළියට යන්න .දැන් අහන්න එපා එයා වැඩ කරන්නේ කොහෙද අරව මේව එහෙම. එතකොට අපේ යාළුවගේ මනමාලි ඇහුවලු,

"කොහෙද බබා මේ හැන්දෑවේ යන්න හදන්නෙ" කියලා.
එතකොට අපේ යාළුවා කිව්වලු,
" මම යනවා වස්තුව බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්ඩ " කියලා.

"අනේ පැටියෝ... ඔයාට ඕනේ බියර් එකක්ද? "කියලා අහපු වයිෆ් ෆ්‍රිජ් එක ඇරියම ඒකේ තියෙනවලු හොඳට කූල් කරපු බියර් කෑන් දොළහේ පෙට්ටි හතරක්.කර්ල්ස්බර්ග්, ලයන්,ස්පෙෂල් බෲ,ත්‍රී කොයින්ස් ඕනෙ දෙයක් තෝර ගන්න පුලුවන්.

අපේ යාළුවට හිතාගන්න බෑ මොනව කියන්නද කියලා.ඒ වුනත් එයා කිව්වලු "මේකනේ රත්තරන්,බාර් එකට ගියාම ඒකේ ග්ලාස් එහෙමත් කූල් කරලයි තියෙන්නේ" කියලා.

කතාව ඉවර කරන්නත් හම්බ වුනේ නෑ. " අනේ බබා ඔයාට ඕනෙ ෆ්‍රීෂ් කරපු ග්ලාස් එකක් ද?" කියල අහපු වයිෆ් ඩීප් ෆ්‍රීෂර් එක ඇරලා හොඳටම කූල් වෙලා අයිස් බැඳිච්ච මග් එකක් අරන් දුන්නලු.

  අපේ යාළුවා දැන් හොඳටම හිර වුනා.ඒත් එයා කිව්වා " මේකනේ වස්තුව,බාර් එකට ගියාම එතන නියම බයිට් එකක් තියෙනවා.ඒක නැතිව ඉතින් බියර් එකක් බීලා වැඩක් නෑ.මම සින් ගාලා එන්නම් පැටියෝ ඔයාව බලන්න" කියලා.

  "ඔයාට ඕනේ බයිට් ද පැටියෝ...?" කියලා අහපු වයිෆ් අවන් එක ඇරලා බයිට් ජාති ගණනාවක් එළියට ගත්තම අ⁣පේ යාළුවට කට උත්තර නැති වුනා.

" අනේ පැටියෝ.ඔයාට තේරෙන්නෙ නෑනේ වස්තුව.බාර් එකට ගියාම ඉතින් එතන මිනිස්සු කුණුහරුප කියනවා... කෑ ගහනවා... දන්නවනේ ඒ⁣කේ අමුතු ගතියක් තියෙනවා.ඒක⁣යි මම කොහොමහරි බාර් එකටම ගිහින් බියර් එකක් ගහන්න හදන්නේ" . අපේ යාළුවා අන්තිමේදී කිව්වේ කොහොමහරි එළියට පැන ගන්නයි. එතකොට වයිෆ් කිව්වලු,

  "එහෙම කියන්න එපා වස්තුව.ඔයාට ඕනෙ කුණුහරුපෙන් බනින කෑ ගහන ඒවා අහන්නද? උඹලගේ අම්මට********* නැතිව ඔය මග් එකට බියර් එක දාගෙන මේ හදල තියෙන බයිට් එක කාලා බොන තරමක් බීපිය බූරුවෝ. තෝ ගෙදරින් අඩියක් හරි එළියට තිව්වොත් කකුල් දෙක කඩලා එල්ලනවා බාල්කේ."

උස්සව්වේ පරණ "සමබිම" සඟරාවකින්