Saturday, September 30, 2017

ගල් පිළිම සහ බොල් පිළිම

  හරිහමන් අධ්‍යාපනයක් නැති, නම තියෙන ඉස්කෝලේකට ගිය නැති අනාගතය ගැනත් කිසි ආලෝකයක් නැති විපරිත කනාටු වෙච්ච  චරිත වලට පිම්බෙන්න සහ පුම්බන්න තියෙන තැනක්  තමයි සමාජ මාධ්‍ය. ඒකෙනුත් ෆේස්බුුක්. මොකක් හරි හේතුවකට අර කියපු හාල් කෑලි වලට twitter වගේ දේවල් සෙට් වෙලා නෑ. මේ හාල් කෑලි වලට තමන්ගේ ජීවිත වල අසාර්ථකත්වයට හේතුවක් ඕනේ. උත්තරයක් ඕනේ. ඔන්න හම්බවෙනවා උත්තර කීපයක්.
  * ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල්
  *⁣ කොටි ඩයස්පෝරාව
  * මුසල්මානුවන්
  * දමිළයන්
  * සිංහල කතෝලිකයන්

අර කියපු චරිත වලට ඔය කියපු දේවල් ගැන ඒ හැටි අධ්‍යනයක් නෑ.එහෙම අධ්‍යනයක් කරන්න තරම් ⁣ඉවසීමකුත් නෑ. ඉතින් මේ චරිත හසුරුවන්න ඉන්නවා න්‍යාචාර්යවරු කිහිපයක්. ඔවුනගෙන් සමහරක් ගිහියන් ඉතිරි පිරිස චීවරධාරීන්.

ගිහි න්යායාචාර්යවරුන්ට තියෙන්නෙ වැඩ කිහිපයයි. ෆේස්බුුකිය හරහ පුලුවන් තරම් වෛරී ප්‍රකාශ ඉදිරිපත් කිරීම, පිරිමි නැති වෙලාවක අර කියපු සුලු ජාතික ගෙදරකට පැන සද්දයක් දැමීම , වීඩියෝ කිහිපයක් දැම්ම තව කොහේ හරි පාරක තොටකට තමන්ගේ රැලෙ උන් දැක්කීම,වැඩේ දෙල් වූ පසු සති දෙකකට කලදේරම් බත රස බැලිම, අරමුදල් රැස් කිරීම වගේ දෙවල්. කොහොමත් අපේ රටේ හිරේට යන එකා එළියට එන්නෙ වීරයෝ වෙල හින්ද මුන් තව තව ගුවන් ගත වෙනවා.
   එතකොට චීවරධාරීන් සෙට් එක ඉන්නෙ අනුශාසක ලෙවල් එකේ.උන්දැලට තියෙන්නේ අර කයිවාරු පුතාලගේ ඔලුව අත ගාන ගමන් පාර තොටක තියෙන උද්ඝෝෂණ function එකකට පෙරගමන් කාරයා වෙන එක. උන්දැලා දන්න ධර්මෙ තමයි ඒක. ඔතන සාමය ආරක්ෂා කොරන්ඩ එන කාකි උන්දැල ටිකත් වැඩ පටන් ගන්නෙ අර කහ පාට uniform සෙට් එකට පසඟ පිහිටුවා වැඳලා. කාකි ඇඳුම පිටින් එහෙම කරන එකේ අවුලක් උන්දැලට තාම පේන්නේ නෑ. කොහොමත් කොඳු තියෙන්නෙ නැමෙන්නනේ. එහෙම වැන්දම අර ගණින්නාන්සෙලා ටික ඉන්නෙ හඳේ. උන් තව ෆෝම් වෙනවා. (⁣කාකි උන්දැල ටිකට මේ ටික තේරෙන් නැති එක තමයි ප්‍රශ්නේ).චීවරධාරී සෙට් එක ගින්නට අඩු වැඩිය හරි ගස්සලා පන්සලට වඩිනවා . න්යායාචාර්ය සෙට් එක වැඩේ කරන් යනවා. අන්තිමට හි⁣රේ විලංගුවේ වැටෙන්නේ මේ පුංචි සෙට් එක . ඊට පස්සෙ අඬනවා හිරේ ඉද්දි කවුරුත් ආවේ නැතිය. පවුලේ උන් විතරය හිටියේ අරකය මේකය. එළියට ආවාම අයේ මේ ටික අමතක වෙනවා.මෙතන තියෙන්නෙ මානසික ප්‍රශ්නයක්. මේ මිනිස්සු මොන ආකාරයක හරි සමාජ චරිත වෙලා ඉන්නෙ අර වගේ දෙකයි පනහේ වැඩ , ජාතිවාදි ආගම්වාදි වැඩ නිසා. දැන් මෙයාලත් "ටිකක් වැඩ" තියෙන නළුවො වගේ.(ළඟඳිම music video එකක හිටියත් පුදුම වෙන්ඩ එපා) ඒකනෙ කො⁣හේහරි ප්‍රශ්නයක් වෙන තැනකට ගියහම මුලින්ම කරන්නෙ selfie ගහලා fb දානඑක.  එතකොටම දායක සභාව චියර් කරන්ඩ පටන් ගන්නවා." එළ අයියේ,සිංහලේ,ලංකාවේ හිටියනම් අපිත් එනවා, බුදු සරණයි ඔයාලාට" මිනිස්සු තලා පෙලා පීඩා කරන එකකට බුදු සරණ අදාල වෙන්නෙ කොහොමද කියල බුදුහාමුදරුවන්ටත් තේරෙනවද මන්දා.
  මේ මිනිස්සු චරිත වෙන්ඩ නම් ප්‍රශ්න තියෙන්න ඕනේ. ප්‍රශ්නයක් නැත්නම් ප්‍රශ්න හදා ගන්ඩත් මුන්දැල දන්නවා. පැවැත්ම ඒකනේ. කොහෙමත් නීතිය හරියට ක්‍රියාත්මක කරේ නැති වුනොත් මේ අපේ බොල් පිළිම වලට ඉස්සරහට ගොඩාක් වැඩ තියෙයි . ඒ වගේම මෙයාලව නටවන දේශපාලනඥයින්ටත් තේරෙනවද මන්දා දැන් දැන් out of control කියලා. තේරෙනවනම් එච්චරයි .

Tuesday, September 26, 2017

කාලකණ්ණි ආශාව

මතුයම්දවසක
මුලු ලංකාවම
සරණාගතයන් වේවා
ඊටත් පස්සෙ
මුලු ලෝකෙම
සරණාගතයන් වේවා

Saturday, September 23, 2017

Superstars ලට මොකෝ වුනේ ?

   පහත දැක්වෙන්නේ සිරස සුපර්ස්ටාර් තරඟාවලි කීපයක අවසන් දහ දෙනා අතරට පැමිණි තරඟකරුවන් ගේ නම්.
    Season 01
1. Ajith Bandara (Winner)
2. Malith Perera (runner up)
3. Amila Perera
4. Darshana Pramod
5. Shihan mihiranga
6. Manjula Pushpakumara
7. Nishantha Nanayakkara
8. Waruna Madushanka
9. Theekshana Anuradha
10. Asela Eranda

   Season 02
1. Pradeep Rangana (Winner)
2. Surendra Perera
3. Amila Nadeeshani
4. Gamini Susiriwardhena
5. Nadini Premadasa
6. Sanka Dineth
7. Buddhika Ushan
8. Manjula Nivanthi
9. Maheshika Lakmali
10. Nalinda Ranasinghe
11. Wathsala Madhumali
12. Gayani Madhusha

   Season 03
1. Shanika Madhumali (Winner)
2. Arjuna Rookantha
3. Dumal Warnakulasuriya
4. Champika Priyashantha
5. Kasun Chamikara
6. Dilki Weliwatta
7. Eranda Pathum
8. Lakmini Udawatta
9. Thulani Sithara
10. Rukman Asitha
11. Chethana Sankalani
12. Meena Prasadini

    Season 04
1. Thisara Chanaka (Winner)
2. Uditha Sanjaya
3. Gayan dushmantha
4. Shahil Himansa
5. Michel Christine
6. Shani Angela
7. Supun Perera
8. Thilani Kanchana
9. Chaminda Abeywardana
10. Randika Rochana
11. Buddima Madushani
12. Kasun Madushanka

දැනට මේ ඇති. අවසානයට පැවති තරඟවල තරඟකරුවන්ගේ නම් සටහනට ඉදිරිපත් කරල නෑ. කරල වැඩකුත් නෑ. දෙරණ dream star නම් සෙට් එකත් තිබුණනම් පංකාදු පහයි. ඒ වුනාට හම්බ වුනේ නෑ. 

  මට මතක හැටියට සිරස සුපර්ස්ටාර් පටන් ගන්නෙ 2005 වගේ කාලයක.මම එතකොට උසස් පෙළ පන්තිවල. මේක මෙගා හිට් එකක් වුනා වගේම පිස්සුවක් වුනා. හින්දි නළු නිලියන්ගේ ඩේ කාඩ් එකතු කරපු කෙල්ලේ එකපාරටම ශිහාන්ලගේ අමිලලගේ ඩේ කාඩ් එකතු කරා. මට තාමත් මතකයි ඉස්කොලේ ඇරිලා පේරාදෙණිය පාරේ බස් එකේ එද්දි විහාරමහාදේවි ,හයිස්කූල් ,ස්වරණමාලි බාලිකාවෝ පේරාදෙණිය පාරේ තියෙන පොඩි පොඩි කඩවල්වල එල්ලල තියෙන ඩේ කාඩ් තෝරනවා. ඉස්කෝලේ ඇවිල්ලත් කට්ටය
ගෙ කතාව ඊයේ අරූ කැපුනා මූ කැපුනා ඒවා. කොල්ලො විතරක්යැ ගුරුවරුත් එහෙමයි. සුපර්ස්ටාර් හිට් වුනා වගේම සිරසත් ගොඩ ගියා. දෙවෙනි සීසන් එක එද්දි අපි දෙවෙනි පාර උසස්පෙල ලියනවා. සීසන් ටූ සීසන් වන් තරම් හිට් උනේ නැතත් ඒකත් නැගල ගියා. ඒ ආරේ වැඩසටහන් ජාතික රෑපවාහිනීයේ,itn වගේම දෙරණත් පටන් ගත්තා.
  දැන් 2017, මේ ගායන තරු වැඩසටහන් පටන් ගෙන අවුරුදු 10කටත් වඩා කල් ගිහින්. පොඩ්ඩක් අර නම් ලැයිස්තුව බැලුවම සමහර නම් අහලත් නෑ. සමහර දිනපු උන් ලොවෙත් නෑ.එකෙක් දෙන්නෙක් හැරෙන්න අනෙක් උන් ඉන්නවද  මැරිලද කියලවත් දන්නෙ නෑ. ගායන තරු වලට මොකද වුනේ?
 
  මේකට පොඩි උත්තරයක් තිබුණා පහුගිය රාවය පත්තරයක සුරේන්ද්ර පෙරේරා එක්ක කරපු සාකච්ඡාවක.
http://ravaya.lk/?p=168995
මනුස්සයා තැනකදි කියනවා මම ආයෙමත් සාමාන්‍ය වෙලා. ඉස්සර හිටපු විදියටම හලාවත අවට වැඩක් කරන් ඉන්නවා.එලියේ වැඩ අඩුයි වගේ කතාවක්. ගායන තරඟ වලින් බිහිවුණු ගොඩක් තරු වලට අවසානයේ වෙලා තියෙන්නේ මේ වගේ ඉරණමක්. එක රැයෙන් ජනප්‍රිය වෙච්ච, එක රැයෙන් තමන්ගේ ජීවිත සුපෝගබෝගි ජීවිත කරගත්තු බොහෝමයක් තරු දැන් ආයෙමත් හිටපු තැන්වල. එහෙම වෙන්නෙ ඇයි.?

 මේ හැම තරුවක්ම දක්ෂයි. ඒකේ ආයේ කතා දෙකක් නෑ. දක්ෂ වුනාට මුන් ඉපදිලා ඉන්නෙ වැරදි රටක.ඒ කතාවට පස්සෙ එමුකො මේ දක්ෂයෝ ටික ඔය කියන තරඟවලදි ගායනා කරන්නෙත් ප්‍රසිද්ධ ගායක ගායිකාවන්ගෙ ප්‍රසිද්ධ වුන ගීත.අනුන් කාලය මහන්සිය ධනය වැය කරල හිට් කරපු සින්දුවක් කියන එක ලේසි වුනාට ඔය කියන ප්‍රසිද්ධ ගායකයෝ වුනත් සින්දු බර ගානක් කියල තමයි 10ක් 15ක් හිට් කරගෙන තියෙන්නෙ.අපි බැලුවොත් වික්ටර් රත්නායක හරි අමරදේව හරි ජෝතිපාල හරි මේ මිනිස්සු  කියල තියෙන ඒත් අපි ජීවිතේට අහල නැති සින්දු ඕනෙ තරම් තියෙනවා.වෙනස තියෙන්නේ ඒ ගායකයෝ යන්නේ ආරෝහණ පටිපාටියට පොඩි තැනේ ඉඳන් ඉහළට , හැබැයි ගායන තරඟවලින් එන තරු පටන් ගන්නෙ ඉහළම තැනින්.තමන් කැමති වුනත් අකමැති වුනත් එයාලට ඉතුරු වෙන්නේ අවරෝහණ පටිපාටියම තමයි. තරඟ සංවිධානය කරන රෑපවාහිනී අයිතිකාරයත් මෙයාලව උස්සල තියෙනවා.එහෙම වුනාම අතින් ලක්ෂ ගණන් පාඩු කරන් තමන්ම sms ගහ ගන්නවා. වේදිකාව උඩදි තමන්ගෙ නැතිබැරිකම කියල අඬනවා. උදේට ජෑම් පාන් එකක් කාලා සීනි අතේ කාලා කහට බීලා අවේ කියනවා, ඇඳන් ඉන්න ජොකාගේ හිල් ගාණ කියනවා,මම නෙවෙයි අල්ලපු ගෙදර නංගි තමයි application එක දැම්මෙ කියනවා. ඉතින් මේ අංකෙට sms එකක් ගහන්න ඈ කියල අන්තිමට කියනවා.කොහෙම කොහොම හරි නම හදා ගත්තත් යන්ඩ තියෙන පාරෙ ටික කාලෙකින අතරමං වෙනවා.දැන් තමයි මේ තරු ටික වැරදි රටක ඉපදිලා කියපු point එක එන අවස්ථාව. මේ ගායක තරු බිහිවෙන වේගේ අපේ වගේ පොඩි රටකට දරා ගන්න අමාරුයි.මෙහේ කෝටි දෙකයි නේ ඉන්⁣නේ. ඕනෙනම් අරාබියෙයි,ඕස්ට්‍රේලියා ඉතාලි වගේ ඉන්න සිංහල සින්දු අහන තව ලක්ෂ 5ක් විතර ඇති. මේ තරඟවලින් අවුරුද්දකට ගායකයෝ 10ක්  20ක් මුදා හරිනවා. උන් ඔක්කොම ගායන කරන්නෙ අර කෝටි දෙකට තමයි. ඉතින් මේකේ රැඳෙන්න හරි අමාරුයි..එකෙක් දෙන්නෙක් ගායන හැකියාව පැත්තකින් තියල tv presenters ලා වෙනවා,සමහරු රඟපානවා. අනෙක් උන් ලස්සනට දැකපු හීනෙකින් ඇහැරෙනව වගේ ආයෙත් හිටපු තැනටම එනවා.බැරිවෙලාවත් මේ ගායකයෝ ඉංග්‍රීසි කතා කරන රටක හිටියානම් නැත්නම් ඉන්දියාවේ වත් හිටිය නම් මට හිතෙන්නෙ නෑ එහෙම දෙයක් වෙයි කියල.American Idol එකෙන් නම හැදෙන එකාට ඊලඟ දවසේ ඉඳල මුලු  ලෝකෙම market එක හැදෙනවා.,ඉන්දියාවේ උන්ටත් එහෙමයි .ඉතින් උන්ට ඉබේම ලොකු අවස්ථාවක් හම්බ වෙනවා. අවාසනාවකට අපේ රටේ තරඟවලින් බිහිවෙන ගායක තරු වලට ඒ චාන්ස් එක නෑ. හැමෝටම සින්දු කියන්ඩ ඉන්නේ මේ කෝටි දෙක විතරයි. ගායන තරු මේ වේදිකාවෙන් දුම්රියට ගොඩ වෙනවා, ඊළඟ දුම්රියපොළේ ඉඳල බහින්න පටන් ගන්නවා. කලාතුරකින් එකෙක් දුර ගමනක් යනවා.


Friday, September 22, 2017

එන්න සිරගතවෙමු

සංස්ථාපිත ආගම් සියල්ලම
සිරගෙවල් වෙති
අපරාධයකින් තොරවම
අප සිරගත වෙන්නෙමු
දෙවනුව තර්ක කරන්නෙමු
අපේ සිරගෙදරය හොඳම
අපේ එක නූතනය ⁣
අපේ සිරගෙදර අල්පේච්ඡිතය
අපේ සිරගෙදර අවිහිංසාවාදිය
තොපේ සිරගෙදරය විෂමය
තොපේ සිරගෙදර සුපෝගබෝගි නැත
එන්න අපේ සිරගෙදරට
අපි ඔබව යහපත් සිරකරුවෙකු කරන්නෙමු

Sunday, September 10, 2017

ඒ කාලේ Radio ඇහුන හැටි.

    පරණ රේඩියෝවක් කිව්වම මුලින්ම මගේ මතකෙට එන්නෙ කිරිඅම්මලා ගෙදර තිබුණ තනි ස්පීකරේ අලු පාට රේඩියෝ එක. ඒකට කැසට් පීස් එකක් දාන්නත් පුලුවන්. විදුලිය තිබුනත් රෑපවාහිනි නොතිබුණු ඒ කාලේ දැනුම ප්‍රවෘත්ති රසවින්දනයට හැම එකටම තිබුණේ ඔය රේඩියෝ එක තමයි.
   දවස මුලින්ම පටන් ගන්නේ උදේ පාන්දර දාපු පිරිතෙන්. ඒ දවස්වල රේඩියෝ චැනල් කීපයයිනෙ තිබුනෙත්. වෙළද සේවයයි ස්වදේශීය සේවයයි කඳුරට සේවය වගේ කීපයක් තමයි අපට ඇහුනේ. පිරිතෙන් පස්සෙ බෞද්ධ සිතුවිල්ලක්  ඊටත් පස්සෙ කිතුනු සිතුවිල්ලක් ඔය අතරතුර වෙලාවට ගැළපෙන විදියට දේශාභිමානී ගීතයක්, බැති ගීයක් පාසල් ළමුන්ට ගැළපෙන ගීයක් වගේ යනවා. උදේ 5.50 ට වගේ විනාඩි දෙක තුනක පරිසර වැඩසටනකුත් ගියා.

මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි
ප්‍රවෘත්ති
ඉදිරිපත් කිරීම රම්‍යා වනිගසේකර ......

එහෙම ඇහෙන්නේ උදේ 6ට. ගැඹුරු ගාම්භීර හඬවල්වලින් ඇහුන ප්‍රවෘත්ති වල අමුතු හැඩයක් තිබුණා. ඉස්කෝලේ සමහර උන් සිංහල පාඩම කියෙව්වෙත් ඒ අකෘතියටම. ප්‍රවෘත්ති වලින් පස්සේ obituary Notices.ඒකනම් පට්ට බෝරිං පට්ට මූසලයි.

විශ්‍රාමලත් පාඨශාලාචාරිනි, අහවලාගේ පියාණන් වූද,...... කියලා අවසන් කටයුතු අහවල් සුසාන භූමියේදි සිදුවේ.මීට ශෝකයටපත් පුතා....

එහෙම තමයි ඇහුනේ. හැබැයි කවමදාකවත් උදේට ලග්න පලාඵල නම් ඇහුනෙ නෑ කියල මතකයි. අපි ඉස්කෝලේ ගිය ඔන්න ඔය වෙලාවට.දවල්ට වැඩිය රේඩියෝ ඇහුවෙත් නෑ. දවල් කාලයකට පාසල් නිවාඩුවක් හැරුනම ගෙදර හිටියේ 1995 නොවැම්බර්. ⁣ඉස්කෝලවලට බෝම්බ බියක් අවිල්ල ඉස්කෝල නිවාඩු දුන්නා. විනිවිද පෙනෙන බෑග්, කෑම පෙට්ටි ,කුඩ එහෙම trend එකක් වුනේ ඒ කාලේ. අවසන් වාර පරීක්ෂණය තිබුනෙත් 1996 ජනවාරි. යුද්ධය දරුණුවටම යන කාලයක්.දවල්ටත් ප්‍රවෘත්ති වලින් පස්සෙ අර මූසල obituary notices ගියා. ඊට පස්සෙ ගියා රණබිමෙන් නිවහනට කියල වැඩසටහනක්. යුදබිමේ ඉන්න සෙබළු ගෙවල්වලට එවපු පණිවුඩ ඒකේ විකාශය වුනා. දුරකතන දුර්ලභ එ් කාලේ සෙබලු හිටපු ගෙවල්වල හැමෝම ඒක ඇහුවා. හවස 6 ප්‍රවෘත්ති වලට පස්සෙ ගියා එළවළු ,මාළු මිළ ගණන් වැඩසටහනක්.ඒකට අනුග්‍රහය දැක්වුයේ ලංකා බැංකුව. වැඩසටහනේ අතරතුර

ලංකා බැංකුවයි මේ ඔබේ
ජාතියේ නිධානයයි.....

ඔන්න ඔහොම සිංදුවකුත් ගියා. අපි කැමති වුනත් නැති වුනත් අපිට එ්වා අහන්ඩ වුනා. වෙන චොයිස් නෑනේ. ගුවන්විදුලි නාට්‍ය කියන්නේ ඒ කාලේ ගුවන්විදුලියේ තිබුණ ප්‍රධාන අංගයක්.
මුවන්පැලැස්ස, සෙපෙට්කෝ මහත්තයා වගේම බ්‍රහස්පතින්දාට ගිය ගොපළු කන්දේ විලාපය, හරියටම රෑ දොළහයි වගේ හොල්මන් කතා වගේම රහස් පරීක්ෂක නාට්‍යත් පට්ට .පස්සෙ කාලෙක ආපු සිරස fm එකටත් මේ ගුවන්විදුලි නාට්‍ය  සංස්කෘතිය මඟ හරින්න බැරිවුණා. සාතන්ගේ පුත්තු කියල නාට්‍යක් සිරසෙත් ගියා.මේක කිච කරල පච වෙලා ගියේ ශ්‍රී fm කරපු කණාමැදිරි රාත්‍රියෙන්.
ඉරිදට උදේ 11ට වගේ විහිළු වැඩසටහනක් ගියා. ඒකට අනුග්‍රහය දුන්නෙ සිංහ පට්ටම් කණ්නාඩි. 
හවස⁣ට ගියා අම්බිගා ගීතයෙන් ගීතය. ස සයන්න කිව්වම සයන්නෙන් සිංදුවක් කියනවා. ඒ කාලේ සුපර්ස්ටාර් වුනේ අම්බිගා ගීතයෙන් ගීතය තමයි.

    මට මතක හැටියට 95,96 වගේ තමයි සිරස පටන් ගත්තේ. සින්දු මැද්දේ හිරවෙන, එහෙම හිරවුනාම සිදුවු ප්‍රමාද දෝෂයට බලවත් කණගාටුව පළ කරපු ගුවන් විදුලි සංස්ථාවට වඩා stereo sound ගෙනාපු සිරස නැඟල ගියා. විනයක් ඇතුලේ හිරවුනු අදහස් ප්‍රකාශ කිරිල්ලෙ ඇතුලේ ගිරා කියවීම අලුත් අත්දැකීමක් වුනා. මුල් දවස්වල ඕකෙ විකාශය ආරම්භ වුනේ උදේ 8,ට 9ට විතර. ඒ වෙනකල් අපි බලන් හිටියා. ලස්සන පැහැදිලි සින්දු අහන්ඩ.

      1997 අවුරැද්දේ දවසක මට අවස්ථාවක් හම්බ වුනා කොත්මලේ fm එකේ වැඩසටහනකට යන්ඩ. ඉස්කෝලේ උගන්නපු ගුරුතුමියටත් කිව්වා අහපන් කියලා මොකෝ  මම හිතුවෙ ඒක live broadcast කරයි කියලා. ගියාට පස්සෙ තමයි විස්තරේ තේරුණේ. රෙකෝඩින් එක තිබුණේ එළියේ corridor එකක. ඒ කාලේ චූන් පාන් කාරයෝ නැතිවුනාට ලොතරැයි කාරයෝ හිට්යා. උන් යන වෙලාවට රෙකෝඩින් එක දඩස් ගාලා නතර කරනවා. ඊට පස්සෙ ආයේ පටන් ගන්නවා. එහෙම තත්වයක් තමයි ඒ කාලේ කොත්මලේ fm එකේ තිබුණේ.ගියපු වැඩසටහන ඊටත් මාස දෙකකට විතර පස්සෙ කපල කොටල broadcast කරා.පොඩිකමට ඒක ලොකු අත්දැකීමක්.වැඩසටහන ඉවර වුනාම කවකටු පෙට්ටිකුයි පොත් වගයකුයි තෑගිත් ලැබුණා.එ් අපි පොඩිකාලේ රේඩියෝ .

     දැන් . රේඩියෝ චැනල් බර ගාණක්. අහනවට සල්ලිත් දෙනවා. අනේ අපෙනුත් මල් ගන්ඩකෝ කියනවා වගේ අපේ එකත් අහල බලන්ඩ කියනවා. හරි අමාරුවෙන් ගේමක් දීල පැයකට සින්දු 7-8ක් play කර ගන්නවා. ඒ තරමට වෙළෙඳ දැන්වීම්.හවසට හැම එකේම පිරිත්.ඒ අස්සේ සුදර්ශන ගුණවර්ධනලා ගුවන්විදුලි සංස්ථාව ගොඩ ගන්නත් හදනවා. Tv පැතිරෙද්දි අපි හිතුවෙ ඒක radio වල මළගම කියල. හැබැයි ඒක එහෙම වුනේ නෑ. තාමත් රේඩියෝ හුස්ම ගන්නවා. ඒ හුස්මෙ සද්දෙ අපිටත් ඇහෙනවා.

Tuesday, September 5, 2017

දෙයියා සහ හිඟන්නා

හිඟන්නට දෙන රුපියල් විස්සත්
දෙයියගෙ පින් කැටේට දාන රුපියල් පහත්
දෙකම පින් නම්
හිඟන්නා > දෙයියා   නොවෙද
එහෙනම් හිඟන්නා more important
දෙයියෝ ගෝචර වෙන්නෙත් නෑලුනේ
ඉතින් අපි නම් දෙක මාරු කරොත්
දෙයියා වෙනුවට හිඟන්නා
හිඟන්නා වෙනුවට දෙයියා
පට්ටනේ මචං

"ඊයේ මං පාරේ හිටපු දෙයියෙක්ට කෑම එකක් දුන්නා බං"

"පොලිසිය විසින් පිටකොටුවේ සිටි දෙවිවරුන් ඔවුන්ගේ විමාන වලින් ඉවත් කරන ලදි"
News alert එකක් මචං

"ලබන මාසේ යමුද මචං කතරගම , හිඟන්නෙක්ට භාරයක් වෙන්ඩ"

දැන් දෙයියෝ ගෝචරයි.
හිඟන්නො ඈවරයි......

Monday, September 4, 2017

පාපතර ගැහැණු

අද බිනර පොහෝ දිනයයි. බෞද්ධයන්ට මෙය වැදගත් වනුයේ අද වැනි දිනක භික්ෂුනී ශාසනය ආරම්භ වීමයි. මහා ප්රජාපතී ගෝතමියගේ දිගු කාලීන අරගලයක ප්‍රතිඵලයක් මත අවසානයේදි භික්ෂුනී සසුන ආරම්භ විය. එය ආරම්භයට පෙර
මහා ප්රජාපතී ගෝතමිය ඇතුළු පිරිසට අෂ්ටගරු ධර්ම අටක් පිළිගැනීමට සිදුවිය.

අෂ්ටගරු ධර්ම අට

1. උපසම්පදාවෙන් වසර සියයක් ගත වූ මෙහෙණියක විසින් වුවද එදින උපසපන් වූ භික්ෂූව දැක වැඳුම් හුනස්නෙන් නැගී සිටීම් ආදී ගෞරව කළ යුතුය.

2. භික්ෂුණිය භික්ෂූන් නැති පෙදෙසක වස් විසීම නොකළ යුතුය.

3. අඩ මසක් පාසා මෙහෙණිය විසින් භික්ෂූ සංඝයාගෙන් පොහොය විචාල යුතුය. අවවාද දීමට භික්ෂුවක ගේ පැමිණීම ද බලපොරොත්තු විය යුතු ය.

4. වස් විසූ භික්ෂුණිය වස් අවසානයේ දී භික්ෂූ භික්ෂුණී යන උභතෝ සංඝයා ඉදිරියේ පවාරණය කළ යුතුය.

5. බර ඇවතකට පත් භික්ෂුණිය දෙසතියකට නො අඩු කාලයක් උභතො සංඝයා ඉදිරියෙහි වත් දෙපෝයක්. මානත් පුරා අබ්භාත විනය කර්මය සිදුකළ යුතුය.

6. උපසම්පදාව ලබනු කැමැති මෙහෙණිය දෑ අවුරුද්දක් ම අවශ්ය ප්රතිපත්ති සික්ඛ මානාවක වශයෙන් ප්රගුණ කොට උභතො සංඝයා ඉදිරියේ උපසම්පදාව ලබාගත යුතුයි.

7. කවර කරුණක් නිසා හෝ භික්ෂුණියක විසින් භික්ෂුවකට ආක්රෝෂ පරිභව නොකළ යුතු ය.

8. භික්ෂුණිය විසින් භික්ෂූන්ට අවවාද නො කළ යුතු අතර භික්ෂූන් විසින් දෙනු ලබන අවවාද පිළිගත යුතුයි.

මෙම කාරණා අට දිහා නැවත වතාවක් බැලුවහොත් පෙනී යන්නේ සාම්ප්‍රදායික බමුණන් ගැහැනුන් කෙරෙහි දැක්වූ පහත් ආකල්පය, බමුණු මත කෙරෙහි විශාල ප්‍රතිවිරෝධයක් දැක්වූ  බුදුන්ට පවා අවසානයේ එහිම ගොදුරක් වූ බව නෙවේද. බලන්න එහි පළමු කරුණ දිහා,උපසම්පදාවෙන් වසර 100ක් ගතවූ භික්ෂුනීයක් වුව එදින උපසපන් වූ භික්ෂුවකට වැඳිය යුතුය.මෙසේ වැඳය යුත්තේ කිනම් කාරණයකයද. ඔවුන් ගැහැනුන් නිසා නොවෙද, අවසන් විග්‍රහයෙදි මොවුන් වැඳ ඇත්තේ පුරුෂ ලිංගයකට නොවේනම් වෙන කුමකටද.

    දෙවෙනි කරුණ අවුලක් නැතැයි සිතමු. තෙවෙනි කරුණ බලමු. "අඩ මසක් පාසා මෙහෙණිය විසින් භික්ෂූ සංඝයාගෙන් පොහොය විචාල යුතුය. අවවාද දීමට භික්ෂුවක ගේ පැමිණීම ද බලපොරොත්තු විය යුතු ය."
ඇයි භික්ෂුනීන් හට අවවාද දීමට වැඩිහිටි භික්ෂුනීන් නැතිද, මේ පවසන්නේ භික්ෂුනීන් භික්ෂුන්ට සාපේක්ෂව මෝඩ බව නොවෙද

හත්වැනි සහ අටවැනි කාරණා බලමු.කවර කාරණයක් නිසා හෝ භික්ෂුනීයක් භික්ෂුවකට නොබැනිය යුතුය . හරි හෝ වැරදි හෝ වේවා වරදක් දුටුවිට පවා භික්ෂුවකගේ වැරද්දක් ඉවසිය යුතුය. නොදැක්කා සේ සිටිය යුතුය . භික්ෂුනීන් විසින් භික්ෂුන්ට අවවාද නොකළ යුතු අතර භික්ෂුන් දෙන අවවාද පිළිගත යුතුය.

සියලුම ආගම් කිසියම් හෝ ආකාරයකින් ගැහැනුන් හෙලා දකිති. ඉස්ලාමය ද ක්‍රිස්තියානිද හින්දු බෞද්ධ භේදයකින් තොරව මෙම කාරණයේදි පුරුෂ මූලික පුරුෂ ශාස්තෘන් ගැහැනු හෙලා දැක තිබේ. නමුත් ආගමික සමාජයෙන් අති බහුතරය ගැහැනුන් වේ. තමන් තලා පෙලා පහත් කරනා ආගම් තුලින්ම ගැහැනුන් විමුක්තිය සොයති.ආගම් කෙරෙහි ඉතා භක්තිමත් කොටස ගැහැනුන් වේ.

   මහා ප්‍රජාපතිය අද වැනි දිනෙක දිනා ඇත්තේ යදමින් බැඳි ජයග්‍රහණයකි. ඉහත කාරණා මීට අවුරුදු දෙදහස් පන්සිය ගණනකට කලින් ඇතිවූ  බව සත්‍යයක්. නමුත් අදටත් ගැහැනුන් ආගමෙන් බැට කති. ඊළඟ ආත්මයේ පිරිමින් වීමට පින් පුරති.තමාගේ ගැහැනු ආත්මය පව්කාරකමක ප්‍රතිඵලයක් සේ දකිති. ඒ ඔවුන්ගේ ආගමෙන් ඔවුන්ගේ ගැහැනු ජීවිතය පහත් කොට සළකන හෙයිනි. ගැහැනුන් පහත් කර සළකන ආගම් විසින්ම නැවත වාරයක් මවට සැළකීම ගැන කතා කරති. මාතෘත්වයට එන්නේ අර පව්කාර ගැහැණියම බව අමතක වෙති. දැන් නැවතත් මහා ප්‍රජාපතිලා අවශ්‍ය කාලයකි. ඒ පුරුෂ ලිංගයට වැඳ වැටීමට නොව අවබෝධය හෝ විමක්තිය ලබා ගැනීම උදෙසා කකුල් දෙක අතර ඇති අවයවය වැදගත් නොවන බව පැවසීමටය.