Wednesday, January 17, 2018

2020 ජනාධිපතිවරණය ට පෙරවදනක්

  තව වසර දෙකකින් පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් දැන් සිටම කඳවුරු බැඳ ගන්නා අයුරු මේ දිනවල දේශපාලන පොරපිටිය දෙස මඳ අවධානයක් යොමු කළහොත් දැක ගත හැකිය. මොහොතකට දැන පවතින දේශපාලන තත්ත්වය මඳක් විග්‍රහ කර බලමු.
     මහින්ද රාජපක්ෂ පෙරට ගත් ඒකාබද්ධ විපක්ෂයේ පොහොට්ටු කණ්ඩායමට මහින්ද රාජපක්ෂ නාමය තොරොම්බල් කරනවා හැර නිශ්චිත දේශපාලන වැඩ පිළිවෙලක් නැත.කුප්‍රකට බැදුම්කර වංචාව, රණවිරු දඩයම වැනි කාරණා හැර වෙන යමක් ඔවුන්ගේ දේශපාලන වේදිකාව තුළින් ඇසෙන්නට නොමැත. රෝහිත අබේගුණවර්ධන , මහින්දානන්ද අලුත්ගම වැනි දූෂිත චරිත දූෂණ වලට එරෙහි කතා කරනා ⁣රටක් බවට පත් වීමම රට මුහුණ දී තිබෙනා අර්බුදය මනාව පිළිඹිබු කරයි.පහු ගිය ජනාධිපතිවරණෙදි ලබාගත් චන්ද ලක්ෂ 58, සහ ඊට පසුව පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලක්ෂ 47ක් වූ චන්ද ප්‍රමාණය රැක ගැනීම ඔවුන්ට ඇති ⁣විශාලම අභියෝගයයි. මතක තබා ගත යුතුයි ඔවුන් ලක්ෂ 47 ලබා ගන්නා විට මෛත්‍රී පාර්ශවයෙන් ඉදිරිපත් වූ අපේකෂකයන්ද ඔවුන් සමඟ සිටි බව සහ මැතිවරණයෙන් අනතුරුව සැළකිය යුතු ප්‍රමාණයක් මෛත්‍රී ජනපති සමඟ එක් වූ බවටත්. මෙම මැතිවරණයෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ පාර්ශවය ඔවුන්ගේ ශක්‍යතාවය බොහෝවිට තේරුම් ගනු ඇත. යම් විටෙකින් ඔවුන් මෛත්‍රී පාර්ශවය වන එක්සත් ජනතා නිදහස් සංධානය ඉක්මවා චන්ද ප්‍රමාණයක් ලබා ගතහොත් ඉදිරි දේශපාලන පොරපිටිය සම්පූර්ණයෙන්ම වෙනස් වනු ඇත.  මෙය ඉතා හොඳින් අවබෝධ කරගත් මෛත්‍රී දැන් දැන් දැඩි එජාප විරෝධයක් ආරම්භ කර ඇත. සාම්ප්‍රදායික නිදහස් පක්ෂ චන්ද තමා වෙත ආකර්ශනය කර ගැනීමට ගැසූ ගැටයක් බවට මෙය ඉතා පැහැදිලිය. අතරමං වී සිටි නිදහස් පාක්ෂිකයන්ට මෛත්‍රී ජනපතිගේ මෙම විපර්යාසය යම් ආශ්වාදයක් ගෙන දෙන බවට සැකයක් නැත. තම අසාහය නායකයා පරාජය කර ජනෙල් පඩියක් මතට නැංවූ මෛත්‍රී වෙත ඔවුන් නැවතත් ආකර්ශනය විය නොහැක්කක් බව මෛත්‍රී පෙබරවාරි 11වන දින තේරුම් ගනු ඇත. තමාද ඇතුලත් වූ මහින්ද ආණ්ඩු මඟින් දේවත්වයට නැඟු රාජපක්ෂ උන්මාදය නිදහස් පාක්ෂිකයන්ගේ ඔලුවලින් සෝදා දැම්මට තවත් වසර කීපයක් යනු ඇත. මෙම මැතිවරණයෙන් මෛත්‍රී පිල සහ මහින්ද පිල දෙවන ස්ථානය රැක ගන්නා සටනකි.මෛත්‍රීගේ හදිසි එජාප විරෝධෙය සාර්ථකත්වය අසාර්ථකත්වය පෙබරවාරි 11 වනදාට  බලාගත හැකි වනු ඇත. එජාපය දෙස බැලුවහොත් කුප්‍රකට බැදුම්කර චෝදනාව එජාප පාක්ෂිකයන් අධෛර්යමත් කරනවාට කිසිම සැකයක් නැත. නමුත් නිදහස් පක්ෂය පාර්ශව දෙකක් ලෙස ඉදිරිපත් වීමෙන් ඇතිවන වාසිය ඔවුන් නිතරඟ ජයග්‍රහකයෙක් කරනු ඇත. ඔවුන් ලබා ගත හැකි අවම චන්ද ප්‍රමාණය 2010 වසරේ ලබා ගත් බව මගේ පුද්ගලික මතයයි. ඔවුන් කිසිසේත්ම ඊට අඩු චන්ද ප්‍රමාණය ලබා නොගනු ඇත. එය ඔවුන්ගේ බැතිමත් එජාප පාක්ෂික චන්දයයි. බැදුම්කර චෝදනාව හමුවේ පසුබා සිටි එජාප පාක්ෂිකයන් ජනපතිගේ එජාප විරෝධය හමුවේ නැවතත් එජාපය දෙසට යොමුව බව මගේ නිරීක්ෂණයයි. මෙවර මැතිවරණයට චන්දය ප්‍රකාශ කිරිම පිළිබඳ දෙගිඩියාවක සිටි බොහෝ එජාප පාක්ෂිකයන් ජනපතිගේ හදිසි එජාප විරෝධය හමුවේ නැවත ධෛර්යමත් වී ඇති හැඩකි. ජනපතිගේ මෙම හදිසි එජාප විරෝධය එජාප නායකත්වය ද දැනුවත්ව සිදුවන්නා වූ යම් විදියක දේශපාලන game එකක් වීමටද බැරි නැත. ජනපතිගේ මෙමෙ ස්ථාවරයෙන් එජාපයද ගොඩයන අතර මහින්ද පාර්ශවයේ චන්ද ඩැහැගැනීම මඟින් මෛත්‍රී පාර්ශවයද ගොඩ යෑමේ අභිලාෂයක් මෙහි සැඟවී තිබෙන්නට පුලුවන.
ජවිපෙ දෙස බැලූ විට අනුර දිසානායකගේ නූතන දේශපාලන හැසීරම සාම්ප්‍රදායික වාමාංශික දේශපාලන නොවන බොහෝමයක්ගේ ආකර්ශනය දිනාගන්නට සමත් වී ඇත. පැරණි වාමාංශික පක්ෂ ගමන් ගත් මාර්ගයේම ගොස් කෞතුක පක්ෂයක් වනවාට වඩා ඔහුගේ ප්‍රතිසංස්කරණවාදී ලක්ෂණ ජවිපෙ ඉදිරි ගමන් මඟ ශක්තිමත් කරනු ඇත. මෙම මැතිවරණයෙන් ජවිපෙ ලබා ගන්නා චන්ද ප්‍රමාණය ඔවුන්ට ඉතාමත් තීරණාත්මක වනු ඇත. මන්ද මීළඟ ජනාධිපතිවරණය සඳහා මෛත්‍රී නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වනු ඇත. වසර 5කින් සමුගන්නා බව කීවද වර්තමානයේ ඔහු ක්රීඩා කරන ආකාරයට නම් ඔහු මීළඟ මැතිවරණයට ඉදිරිපත් වීම නිසැකය. එජාප ය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ ද ඉදිරිපත් වනු ඇත. ඒකාබද්ධ විපක්ෂය දැනටමත් පවසන පරිදි ඔවුන්ගේ අපේක්ෂාව ගෝඨාභය රාජපක්ෂයි. එවැන් තත්වයක් තුළ අනුර දිසානායක ද ජනාධිපතිවරණයකට ඉදිරිපත් වනු දැකීම මාගේ අපේක්ෂාවයි. තුන්කොන් තරඟයක් වෙනුවට සිව්කොන් තරඟයක් අප රටට අලුත් අත්දැකීමක් මෙන්ම ඔවුන්ට උතුරු නැගැනෙහිර දමිළ චන්ද තීරණාත්මක වනු ඇත. රනිල්  සහ මෛත්‍රී වැනි දේශපාලනයේ තෙම්පරාදු වූ චරිත මෙන්ම තම බල පරාක්‍රමය හමුවේ ඕනෑම ත්‍රස්තවාදී මැර පාලනයක් ගෙන යාමේ ශක්‍යතාවය මැනවින් පෙන්වූ ගෝඨා වැනි චරිතයක්ද හමුවේ  2020දෙයක් කිරීමේ outside chance එකක් අනුරට ඇති බව මම දකිනා නිරීක්ෂණයයි. යම් ලෙසකින් අනුරට දෙමළ  සංධානය සමඟ අවබෝධයක් ගොඩනඟා  ගත හැකිනම් එය සාර්ථක ප්‍රතිඵලයක් ගෙනු දෙනු ඇත. නමුත් ඉතිහාසයට අනුව නම් දෙමළ සංධානය ⁣⁣ගෙන ඇත්තේ එජාපය පැත්තයි. දෙමළ සහ මුස්ලිම් මිනිසුන් ගෝඨාට චන්දය දීමට තරම් අහේනියක් ඔවුන්ට නැත.මෛත්‍රීගේ ඉදිරි වසර දෙකකටආසන්න කාලය තුළ ක්‍රියාකාරකම් ඔහුගේ ඉදිරි දේශපාලනයේ දිග පළල තීරණය කරනු ඇත. යම් හෙයකින් ඔහුට රාජපක්ෂලාට ඇති දූෂණ චෝදනා විමර්ශනය කරන්නට හැකි වුනොත් දෙවන වරටත් ජනපති වීමේ සිහිනය සිහිනයක් නොවනු ඇත.
   පෙබරවාරි 10 න් පසුව මෙරට දේශපාලන කාඩ් කුට්ටම පෙර නොවූ පරිදි වෙනස් වනු ඇත. තුරුම්පු අතේ ඇත්තා නොව මොළය වෙහෙසවන්නාට මාර්ගය විවර වනු ඇත.

2 comments:

  1. පක්ශ දේසපාලනය මේ තරම් නන්නතාර වුන අවස්තාවක් නැති තරම්.රනිල් මයිත්‍රී මහින්ද නායකත්වය දෙන්නෙ හොරු ඉන්න පක්ශවලට.ජේවීපී එකට වැඩ පෙන්නන්න තියෙන හොඳම අවස්තාව.

    ReplyDelete