Friday, March 30, 2018

බස් එකේද යන්නෙ? මේ ගැන දැනුවත් ද?

    දිනපතා බස්රථ වල ගමන් ගන්නා ඔබ බොහෝවිට කොන්දොස්තරගේ හෝ රියදුරු ගේ තාඩන පීඩන වට ලක්වීම නිරන්තරයෙන් සිදුවේ. අඩුම තරමින් බස් රථයේ ඔබ සිටිය යුතු ස්ථානය පමණක් නොව අත පය තබා ගන්නා ආකාරය පවා තීරණය කරනුයේ කොන්දොස්තරය.ඉඳහිට කෙනෙක් දෙන්නෙක්  විරෝධය පෑමක් කරනවා හැරෙන්නට අනෙකුත් මඟීන්  මරන්නට රැගෙන යන කුකුළන් මෙන් බස්රථ තුළ සිරවී ගමන් කරති . උදෑසනම ඇතිවන දැඩි මානසික හා කායික තෙහෙට්ටුව මතින් ඔවුන් රැකියා ස්ථානයට යති, පාසලට යති. දවස නිමාකර නැවත නිවසට පැමිණෙන්නේ ද මෙලෙසිනි .මඟීන් හැටියට තමන්ට හිමි අයිතිවාසිකම්  පිළිබඳ ඔවුන් නොදනිති.

බස් රථයක ගමන් ගන්නා මඟියෙකුට ඇති අයිතිවාසිකම්

01. ගමන ආරම්භයේදි බස් නැවතුම්පොළින්බස් රථය පිටත් වීමට පෙර ප්‍රවේශපතක් ලබා ගැනීමට ඔබට අයිතියක් ඇත.

02.බස් රථයට නැඟුණු ස්ථානය හා බැසයන ස්ථානය ,බස් ගාස්තුව ,දිනය, බස් රථයේ අංකය සඳහන් විධිමත් ප්‍රවේශපතක් ඔබට ලබා ගත හැකිවිය යුතුයි.

03.ගෙවන ලැබූ ගාස්තුවට අදාල ගමනාන්තය දක්වා ආරක්ෂාකාරීව බස් රථයේ ගමන් කිරීමට හැකිවිය යුතුයි.

04.විධිමත් ඇඳුමකින් සැරසුණු විනීත හා ආචාරශීලී ඇවතුම් හා පැවතුම්වලින් යුත් රියදුරුවරයා හා කොන්දොස්තරවරයාගේ සේවය ඔබට ලබා ගත හැකිවිය යුතුයි.

05.සාමාන්‍ය සේවා බස් රථයකනම් වයස අවුරුදු  3ට වැඩි 12ට අඩු ළමුන් සඳහා නියමිත ගාස්තුවෙන් අඩක් ගෙවා බසයේ ගමන් කළ හැක.

06. සුඛෝපභෝගී බස් රථයක් නම් ප්‍රමාණවත් වායු සමීකරණ තත්වයක් ලබා ගැනීමට හා අනුමත ආසන ගණනට වැඩි නොවන මඟීන් සංඛ්‍යාවක් ප්‍රවාහනය කරනු ලබන පහසුවෙන් ගමන් කළ හැකි සේවාවක් ලැබීමට ඔබට හැකිවේ.

07. පොදු ප්‍රවාහන සේවා බස් රථය නීත්‍යානුකූලවම දුම්බීම තහනම් කලාපයක් වන බැවින් දුම්වැටි දුමෙන් තොර පරිසරයක ගමන් කිරීමට මඟීන්ට අයිතියක් ඇත.

08.බස් රථය අධික වේගයෙන් සහ නොසැලකිලිමත් ලෙස හෝ අනතුරුදායක ලෙස මාර්ග නීතී උල්ලංඝනය කරමින් පදවන්නේ නම් එයට විරුද්ධ වීමට ඔබට අයිතියක් ඇත. බස් රථය ධාවනය කරවන වියදී රියදුරු ජංගම දුරකතනයෙන් සංවාදවල යෙදීමට විරුද්ධ වීමට ඔබට අයිතියක් ඇත.

09. ගුවන්විදුලි යන්ත්‍රය හැර වෙනත් ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණයක් භාවිතා නොකරන ලබන බස් සේවාවක් ලැබීමට මෙන්ම ගුවන්විදුලි යන්ත්‍රය වුවද ශබ්දය (උපරිම ශබ්ද මට්ටම ඩෙසිබල් 80) අවහිරයක් නොවන ලෙස පාවිච්චි කරන බස් රථයක ගමන් ගැනීමට මඟී ඔබට අයිතියක් ඇත.

10. අවසරපත්‍රයේ අධිකාරිය යටතේ ධාවනය කරන බස් රථයේ දොරවල් බස් රථය ධාවනය කෙරෙන අතරතුර වසා තිබෙන බවට ඔබට තහවුරු විය යුතුයි.

11. ගාස්තු ගෙවන මඟියා බස් රථයේ වැදගත්ම පුද්ගලයා වන බැවින් ඒ සඳහා වන ගෞරවය හා සැලකිල්ල ලැබීමට හැකි විය යුතුයි.

12. මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර බස් සේවක කණ්ඩායම් වල සේවය ඔබට ලබා ගත හැකි විය යුතුයි.

13. අර්ධ සුඛෝපභෝගී බස් රථවල අනුමත ආසන ගණනට වැඩි නොවන මඟීන් සංඛ්‍යාවක් ප්‍රවාහනය කරනු ලබන බවට ඔබට තහවුරු කර ගත හැකි වේ

14.බස් රථය නියමිත වේලාවට ගමන් ඇරඹීමට හා ගමන් නියමිත වේලාවට නිම කරනු ලබන බවට ඔබට තහවුරු විය යුතුයි.
ගමන් ඇරඹීමට නියමිත වේලාව හා ගමන නිම කිරීමට නියමිත වේලාව බස් රථයේ ප්‍රදර්ශනය කරනු ලැබේ.

අන්තර් පළාත් ධාවනය සඳහා අවසර ලත් බස් රථ විසින් මඟින් වෙත සැපයීමට එකඟ වී ඇති කොන්දේසි :

01.බස් රථය විසින් එතුළ ගමන් ගන්නා මඟින් සහ තුන්වන පාර්ශවය ( පදිකයන් ,අනෙකුත් වාහන සහ දේපළ) සඳහා අසීමිත වගකීමක් යටතේ රක්ෂණ සහතිකයක් ලබාගෙන තිබිය යුතුයි.

02. බස් රථය තුළ ගිනි නිවීමේ උපකරණයක් තිබිය යුතුයි.

03. මඟින් සහිතව සේවාවේ ධාවනය කරමින් පවතින අතරතුරදී අතරමඟ ඉන්ධන පිරවුම්හල් වලින් බස් රථයට ඉන්ධන යෙදීම  නොකළ යුතුයි.

04. බස් සේවක කණ්ඩායම වැදගත් හැසිරීමකින් මෙන්ම විධිමත් ඇඳුමකින් සැරසී සේවයේ යෙදිය යුතු අතර ඔහු/ඇය තමාගේ සේවය පිළිබඳ මනා පුහුණුවක් ලැබූ අයෙකු මෙන්ම ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වූ අයෙකු බවට නිකුත් කරනු ලැබූ හැඳුනුම්පත සේවයේ යෙදී සිටින විට පැළඳ සිටිය යුතුය.

05. බස් රථය ගමනාරම්භයේදිම බස් නැවතුම්පොළින් පිටත් වීමට පෙර බස් රථයේ සිටින සියලුම මඟීන්ට ප්‍රවේශපත් නිකුත් කළ යුතු අතර අතරමඟදී බස් රථයට ඇතුළු වන සියලුම මඟීන්ට ඒ අවස්ථාවෙදීම ප්‍රවේශපත් නිකුත් කළ යුතුය. ඒ සඳහා ප්‍රවේශපත් නිකුත් කිරීමේ විද්‍යුත් යන්ත්‍ර භාවිතා කළ යුතුයි.

06. අර්ධ සුඛෝපභෝගී හා සුඛෝපභෝගී බස් රථවල ආසනගත මගීන් පමණක් ප්‍රවාහනය කළයුතු අතර සිටගෙන මඟීන් ගෙනයාම තහනම් වේ.

07. බස් රථයේ ගමන් ගන්නා මඟීන්ට දැනගැනීම පිණිස බස් ගාස්තු සටහන, බස් රථය ගමන් ආරම්භ කරන වේලාව, ගමනාන්තයට ළඟාවන වේලාව, රියදුරු සහ කොන්දොස්තරගෙ ලියාපදිංචි අංක,බස් රථයේ අංකය බස් රථය තුළ ප්‍රදර්ශනය කළ යුතුය

08. බස් රථය තුළ ක්‍රියාත්මක වන ඔරලෝසුවක් තිබිය යුතුයි.

09. බස් රථය ඇතුළත විදුලි පරිපථ මඟින් කෙරෙන සැරසිලි වෙනත් සැරසිලිද  නොකළ යුතුයි.

(ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ " ඇරඹුම යහපත් - පෙරමඟ පැහැපත්"  අත්පොතෙන් උපුටා ගෙන සමබිම සඟරාවේ පළ වූවකි)

5 comments:

  1. ලංකාවේ බස් ගැනද නැතිනම් පිටරටක ඒව ගැනද?

    ReplyDelete
  2. https://gadyanohothkavi.blogspot.com/2018/03/blog-post_58.html

    ReplyDelete
  3. හොඳම ලියුමක් හැදෙන කොලුවාගේ.අපි මේවා දන්නේ නෑනේ.පොත්වල ලියල තිබුනත් නැතත් ඒ ඔක්කෝම දේවල් ලැබෙනවා.විනීතබව,සුවපහසුව,ආරක්ෂාව.... උපරිමයි.ආ...සංගීතය අම්මෝ ඒකත් කියන්නම ඕනෑ.ඇත්තම කියනවනම් හැදෙන කොලුවෝ,කාටත් හැදෙනවනං මෙන්න රට!අපි ආර්ය සිංහල බෞද්ධ.කාටවත් කියන්න එපා බඩ්ඩක් කියන්නං,බටහිර කුමන්තරණ එමට බැල්මදාං ඉන්නව කියල අනුරපුරේ මෑණියෝ කියනවා.

    ReplyDelete
  4. //02. බස් රථය තුළ ගිනි නිවීමේ උපකරණයක් තිබිය යුතුයි.

    ආ ඔව්නේ.... කොන්දොස්තර මහතාගේ අර කිරිපාට (කියා කියන) ෂර්ට් එක තියෙනවනේ. ඒකෙ තියෙන කුණු තට්ටුව හැටියට මොන ගින්නකට වැටුනත් පිච්චෙන්නේ නෑ

    ReplyDelete