Friday, December 2, 2016

බස් වර්ජනයට පසුවදනක්...

පැය 24ක් තිබුණ පුද්ගලික බස් රථ වර්ජනය හිතුවටත් වඩා ඉක්මනින් අවසන් වුනා. ජයග්‍රහණය කාටද කියන එකනම් තාමත් ප්‍රශ්නයක්. හැමදාම වගේ අන්තිමට මහජනයා පරදින එකනම් වෙන්ඩ පුලුවන්. ඇත්තටම වර්ජනය මෙච්චර ඉක්මනින් ඉවර වෙනවා කියන්නෙම ඔය තග දාන බස් සංගම්වලට කල් අල්ලන වර්ජනයකට යෑමේ නොහැකියාව.
   ඊයේ දවස පුරාවටම සමාජ මාධ්‍ය වල වීරයා වුනේ CTB සේවකයින්.බොහෝ පිරිසක් ඔවුන්ට ස්තූති පළකරලා තිබුණා.මං හිතන්නේ අපේ රටේ වෘත්තිය සමිති ව්‍යාපාර, දේශපාලන පක්ෂ වගේම ඊටත් වඩා පට්ට අවස්ථාවාදී පිරිසක් තමයි සාමාන්‍ය ජනතාව. ඊයේ  පුද්ගලික බස් ව්‍යාපාරයට බැන්න වගේම හෙට අනිද්දට ලංගම වර්ජනයක් ආවොත් ඔය විදියටම ඔවුන්ට හොඳ කියන්නෙත් ඔය කට්ටියමයි.
   හැම මඟුලකටම වීරයොයි, දුෂ්ඨයොයි, දේශප්‍රේමීයෝ වගේ කොණ වලින් බැලුවම වෙන්නේ අපට තියෙන සිරා ප්‍රශ්නේ අමතක වෙලා වෙන රෙද්දවල් කතා කරන එක. හැමෝම දඩේ ගැන කතා කරා මිසක් දඩේ ක්‍රියාත්මක වුනාම වෙන්න පුලුවන් දේවල් කතා කරා අඩුයි.
සමහරු කියනවා දඩේ වැඩි හින්දා අන්තිමට පොලිසිය ගොඩ යනඑකනම් අනිවා වෙයි කියලා. ඔව් ඒ ප්‍රශ්නේ තියෙයි තමයි ඒත් පගාව ගන්නවටත් වඩා වැරැද්දක් උනාම පගාව දෙන්න බලන් ඉන්න එවුනුත් ඕනේ තරම් ඉන්නවා. උන් බලන් ඉන්නේ පොලිසිය පැත්තෙන් වචනෙ එනකල්.ඒකනම් හැබැයි win-win situation එකක්.ඉතින් පොලිසියටම වරද පටවනවට වඩා තමන්ගෙ පැත්තෙන් ඒ දුර්වලකම හදා ගත්තනම් නරකද?
  අනෙක් කාරණය තමයි 30000ක් පඩි ගන්න එකා 25000ක් ගෙව්වම ඌ ජීවත් වෙන්නේ කොහොමද කියන එක.ඔව් ගාන සැරයි තමයි. හැබැයි මිනිස් ජීවිතයක වටිනාකම කියන එක අසීමාන්තිකයි කියලත් අපි තේරැම් ගත යුතුයි.25000ක් දඩ ගෙව්වම ජීවත් වෙන්න අමාරැයි කියන එක තේරේනවනම් තමන්ගේ අතින් මිනිහෙක් අබ්බගාත වුනොත් ඒ යකා ජීවත් වෙන්නෙ කොහොමද,ගෘහ මූලිකයෙක් මැරුණොත්  පවුලකට යන කලදසාව මොකක්ද කියලත් තේරෙනන ඕනෙ. ඕක තේරැම් ගත්තොත් නම් වාහනයක් එලවද්දි වගකීම විරහිත ගතිය ඉබේම අඩුවේවි .
   අනෙක් කාරණය තමයි මෙහේ මෙලෝ රහක් නැතිව වාහන පදවන අයියලාම වෙන රටකට ගියාම අගේට විනීතව වාහන පදවන්නේ ඇයි කියන එක. ඒ රටවල වාහන වැරදි වලට පෙනල්ටිය දරුණුයි. මෙහේ වගේ බේරිලා යන්නත් බෑ. ගිහින් තියෙන්නේ job එකකට.අවුලක් උනොත් මොනවත් නැතිව ලංකාවට එන්න වෙනවා.ඉතින් අපේ අයියලා Gulf  ගියාම හෙන නීතිගරුකයි.
   මට හිතෙන්නේ ආණ්ඩුව පරක්කු වෙලාහරි ගත්ත තීරණය හොඳයි.ටික දවසකින් අකුල ගන්ඩ බැරිකමකුත් නෑ.මොකෝ මේ ලෝකෙන් උතුම් රට හන්දා. ඒ වගේම ආණ්ඩුව ඔය තීරණය ගත්තේ උඹ මම ගැන හිතලා නෙවෙයි බදු ආදායම් වැඩි කර ගන්ඩ කියලත් අපි නොදන්නව නෙවෙයි.අවුලක් නෑ.මොනව හරි දේක ප්‍රතිඵල කීපයක් තියෙනවා නම් අපි ඒකෙ හොඳ නරක කියන්ඩ ඕනෙ සම්ප්‍රයුක්තය බලලා කියනවනේ. ඔව් මේ තීරණය හරියට ක්‍රියාත්මක උනොත් තව අවුරුදු 5-6ක් යද්දි අපිට හොන් එක උඩ වාඩිවෙලා වාහන පදවන්නේ නැති, විනයගරුක මහපාරක් උරුම වෙලා තියේවි .....

1 comment:

  1. ඔය කියන ටික සම්පූර්ණ ඇත්ත. ඒත්, අපේ බූරු රංචුවට ඒවා තේරෙනවද කියන එක තමා ප්‍රශ්නය!

    ReplyDelete