(සෂිකා මල්ලිකාරච්චි නැමැති ලේඛිකාව සමබිම 2013 පෙබරවාරි කලාපයට ලියන ලද්දකි)
රූපා පහළොස් හැවිරිදි දැරියක ලෙස දේශපාලන රැස්වීමකට සහභාගී වෙමින් සිටියදී ජය නාථ හඳුනා ගන්නේය.ඔවුන් දෙදෙනා අතර පවතින සම්බන්ධය කෙළවර වන්නේ නූපා වයස අවුරුදු දාහතේදී ඇගේ කුසට දරුවකු පැමිණීමෙනි.නමුත් ජයනාථගේ මුදල් හැකියාව නිසා හා ඇයගේ වයස නිසා ඇයට දරු ගැබ විනාශ කිරීමට සිදුවන අතර ගබ්සා මධ්‍යස්ථානයේදී ඇයව වෛද්‍යවරයා විසින් ද කෙලෙසනු ලබයි.පසුව ජයනාත ඇයව අතහැර දමයි. පසුකලකදී ඇයට වඩා බෙහෙවින් වියපත් ජපන් ජාතිකයකු සමග විවාහ වෙන නූපා එම විවාහ දිවිය තුළ කායිකව, මානසිකව හා ලිංගිකව සතුටක් නොලබයි. ඇයට නො ලැබෙන ලිංගික ආශ්වාදය සොයා ඇය ලංකාවෙන් ජපන් රටට යන තරුණයකු සමඟ ඇසුරක් ඇති කරගන්නා අතර එහි ප්‍රතිඵලයක් වශයෙනි ඇය නැවත වතාවක් ගැබ් ගනී. නමුත් ස්වාමිපුරුෂයාගේ හා අනියම් පුරුෂයාගේ අකමැත්ත මත නැවතත් දරු ගැබ විනාශ කරන්නට සිදුවේ. මා විසින් ඉහත දක්වන්නට යෙදුනේ සුමිත්‍රා රාහුබද්ධගේ "කන්දක් සේ මා" නවකතාවේ සාරාංශයකි.එයට අනුව අවස්ථා දෙකෙහිදීම දරු ගැබ විනාශ කිරීමට නූපා පෙළඹෙන්නේ පිරිමින් ගේ මැදිහත් වීමෙනි. ඕනෑම සමාජයක කාන්තාවගේ දරුවෙකු පිළිබඳව මුලින්ම කලබලයට පත්වන්නේ පිරිමියාය. ඕනෑම කාන්තාවකගේ කුසේ දරු ගැබක් ඇති වන්නේ ඇයගේ තනි කැමැත්තට නොවේ. දරුවකු පිළිසිඳ ගැනීමකට ස්ත්‍රිය මෙන්න පුරුෂයාද සමදායකත්වය සපයයි. නමුත් ගබ්සාව පිලිබඳ චෝදනාවේ දබරැගිල්ල හැම විට යොමු වන්නේ ස්ත්‍රීය වෙතටය.දරු ගැබ නිසා අවමානයට ලක්වන්නේ ගැහැනියය. ගබ්සාවේ වේදනාව විඳින්නේ ගැහැනියය, වේදනාවෙන් මියයන්නේද ගැහැණියමය.
ලංකාවේ ගබ්සාව පිලිබඳ තත්වය සලකා බලන විට මවගේ ජීවිතයට අනතුරක් ඇති අවස්ථාවක පමණක් ගබ්සාවක් සිදුකිරීමට නීතියෙන් අවසර ලැබේ. නමුත් වර්තමානය වන විට මෙම නීතීයේ වර්ධනීය අවස්ථාවක යාම සඳහා කතිකාවක් පවතී. එම ඉල්ලීම් අතර ස්ත්‍රී දූෂණයක් හේතුව හේතුවෙන් දරු ගැබක් ඇති වන විට හෝ අංගවිකල හෝ අඩුපාඩුකම් සහිතව සිදුවන්නට නියමිත දරු උපතකදී ගබ්සාවන් සිදු කිරීමට ඉඩ ලබාදීම සඳහා වන ඉල්ලීම් මූලික වේ. මෙම නව කතිකාව සඳහා වන ප්‍රධාන බාධා කිරීම වන්නේ ගබ්සා කිරීම පාපයක්ය යන ආගමික තර්කණයයි.සෑම ආගමකටම අනුව මිනී මැරීම පාපයකි. එනමුත් තමාට අනවශ්‍ය දරු ගැබකින් බිහිවෙන දරුවෙකු නිසා මුළු ජීවිත කාලයම දුක් විඳින්නේ අවමන් විඳින්නේ එම මව සහ එම දරුවා මිසක් "ගබ්සාවට විරුද්ධ වෙමු" යනුවෙන් හඬ නඟන පිරිමින්වත් ,පූජ්‍ය පක්ෂය වත් , ආගමික අන්තගාමීන්වත් නොවන්නේය. සමාජය තුළ අත්‍යවශ්‍යයෙන්ම සිදුවිය යුතු වෙනස්කම් සඳහා ආගමානුකූල විවරණයක් ලබාදීම යුක්ති සහගත හෝ සාධාරණ නොවන අතර විශේෂයෙන්ම කාන්තා සෞබ්‍ය පිළිබඳ ගැටලුවලට විසඳුම් යෝජනා කිරීම ආගමික සංස්ථාව අදාල කටයුත්තක් නොවන්නේය.
තමා දරුවෙකුට උත්පත්තිය දෙන්නේ ද නැද්ද යන්න තීරණය කළ යුත්තේ කාන්තාවයි.එය ඇයගේ සිරුර පිළිබඳව ඇයට හිමි ප්‍රජනන සෞඛ්‍යය අයිතියයි.ගබ්සාව නීති ගත කලොත් බුරුතු පිටින් ගොස් කාන්තාවන් ගබ්සා කර ගන්නේය යන්න මීළඟ ජනප්‍රිය ප්‍රවාදයයි. කිසිම ගැහැණියක් තමාගේ ලෙයින් ඇතිවන කළලයක් විනාශ කරන්නේ කැමැත්තෙන් නොවන්නේය. සිරුරට ඉතා වේදනාකාරී ක්‍රියාවලියක් වන ගබ්සාවක් කර ගැනීමේ අමුතු විනෝදයක් යම් ගැහැනියකට ඇත්තේ නම් ඇය නිසැකයෙන්ම සිහිමඳ තැනැත්තියක් විය යුතුය නැතහොත් බුදු බණේ එන අත්තකිලමතානු යෝගය පුරන්නි්යක් විය යුතුය. ගබ්සාව තහනම් රටවලට සාපේක්ෂව ගබ්සාව නීත්‍යානුකූල කර ඇති රටවල සිදුවන ගබ්සා කිරීම් සහ ගබ්සාවෙන් පසු ඇති වන සංකූලතා හේතුවෙන් මිය යන කාන්තාවන්ගේ ප්‍රතිශතය අවම මට්ටමක පවතින බව ද මේ මොහොතේ සඳහන් කිරීමට කැමැත්තෙමි.
අනික් බරපතලම කාරණය වන්නේ මෙය නීති විරෝධී වීම තුළම ගබ්සා මාෆියාවක් බිහිවීමයි. ගෙවන සෑම මිනිත්තුවක් සමඟම බරපතළ ගනුදෙනුවක් බවට පත්වන කළලය දරා සිටින්නියක් වෙත කුලුණුබර වෛද්‍ය සහයක් ලැබිය යුතු මොහොතක නීති විරෝධී යමක් යමක් හොරෙන් කරදීමෙන් අයතා වාසි ලබා ගැනීමට මාන බලා සිටිනවා ගබ්සා වෙළෙන්දන් අභිමුව කාගේ හෝ දියණියකට, සොහොයුරිය කට, මවකට නුවමනා දරු ගැබක බරද සමගින් යළි යළිත් මුල්‍යමය, මානසික හා ලිංගික සූරාකෑම්වලට ලක්වන්නට සිදුවීම වෛද්‍යවරයෙකුගේ සහාය වෙනුවට මස් වෙළෙන්දෙකුගෙන් සහාය පතන්නට සිදු වීම කෙතරම් ඛේද ජනකද?
මෙරට දිනකට සිදුවන ගබ්සා වලින් බොහෝමයක් නීත්‍යානුකූල නොවන හා අවිධිමත් ගබ්සා මධ්‍යස්ථාන වල සිටි සිදුවේ. නීති විරෝධී වීම නිසා කිසිදු ප්‍රමිතියක් තොරව සහ සුදුසුකම් නොලත් තැනැත්තන් විසින් සිදු කරන ගබ්සා කිරීම් වලදි සිදු වන අධික රුධිර වහනය, පිටගැස්ම සහ විෂබීජ ශරීරගත වීම නිසා තදබල ලෙස රෝගී වන හා මරණයට පත්වන කාන්තාවන් ප්‍රමාණයක් අධිකය. අනෙක් ප්‍රධාන කාරණය වන්නේ ගබ්සාව තහනම් කළා කියා මෙරට ගැහැණුන් හා මිනිසුන් අතර සිදුවන ලිංගික ක්‍රියාවලීන් අත්හිටුවන්නේද , ඒ නිසාම ගබ්සාවන් අඩු වන්නේ ද යන්නය. දැනට සාකච්ඡාවට ලක්ව තිබෙන ස්ත්‍රී දූෂණයක් හේතුවෙන් දරු ගැබක් ඇති වන විට හෝ අංග විකල හෝ අඩුපාඩුකම් සහිතව සිදු වන්නට නියමිත දරු උපතකදී ගබ්සාවක් සිදුකිරීමට ඉඩලබාදීම යන්නට එහා ගිය ඉසව්වකට මෙහිදී මාගේ අවධානය යොමු වන්නේය.ඉහත ආකාරයට සිදුවන දරු උපත් ගබ්සා කිරීම් වලට වඩා වැඩි ප්‍රතිශතයක් ඇත්තේ නොදැනුවත්කම නිසා ඇතිවන ගැබ් ගැනීම් ගබ්සා කිරීම්ය.
නිදහස් අධ්‍යාපනයේ ආරම්භයේ සිට අද වනතුරු අපගේ පාසලේ පන්ති කාමරය තුල ලිංගික අධ්‍යාපනය පිළිබඳ උගන්නා ඇත්තේ මොනවාද ?කිසිවක් නැත. කුඩා දරුවාගේ සිට වියපත් වැඩිහිටියා දක්වාම අපේ සමාජයේ සිටනුයේ ලිංගික කුතුහලයෙන් මැඩෙමින් මිරිකෙමින් සිටින ප්‍රජාවකි. මෙවැනි පිරිසකගෙන් යාන්ත්‍රිකව ගබ්සා කිරීමේ ප්‍රතිශතය අඩු කිරීමට දායකත්වයක් පැතිය හැකිද ? ලිංගිකත්වය පිළිබඳ ලාංකික සමාජයට ඇත්තේ පියාඹන පීරිසිවලට වඩා කුතුහලයක් නම් අප කළ යුත්තේ ගැහැනිය සියලු පව් වල හිමිකාරිය ඇය දංගෙඩියට දැක්කීම නොව වැළැක්විය හැක, නුවමනා දරු උපත් වලින් මිදීමට මඟ පිළිබඳ අධ්‍යාපනය ඇයට හා ඔහුට ලබා දීමයි.
ඒ සඳහා ගබ්සාව පිලිබඳ මේ කතිකාව දෙස වෙනස් ඇසකින් බැලිය යුතුය. එය සිදුකළ හැක්කේ කාන්තාවගේ ලැම පමණක් නොව ළයද පෙනෙන සමාජයකටය.
Well said
ReplyDeletehttp://snimalka.blogspot.com/2012/12/blog-post_30.html
ReplyDelete2012 දී මම ඔයා ගැන ලියපු ලිපිය
එල......
ReplyDeletehttps://anithkona.blogspot.com/2017/08/blog-post_3.html
ReplyDelete