Sunday, May 27, 2018

දෙවියන් ගැන තවදුරටත්

මේ දවස්වල දෙවියන් ගැන සංවාදේ ජයටම යනවා . මං හිතන්නේ විය යුත්තෙත් ඒකමයි. හැමදාම එකම අාරක දේවල් ඇහුන මිනිසුන්ට එක පාරටම  ඒදේම නිෂේධාත්මක විදියට ඇහුනම මුලින් ටිකක් අවුල්. සමහරු පිළිගන්න අදිමදි කරනවා . සමහරු තේරුම් ගන්නවා. වැහි දෙවි කතාවත් එහෙමයි. සමහරු හිතන් ඉඳලා තිබුණේ වැහිදෙයියා කියන්නේ නිකන් කටවහරට කියපු දෙයක්ය කියලනේ.
      මේ දේව සංකල්පෙ ලංකාවේ කාලයක් තිස්සේ යට ගිහින් තිබුණේ විශේෂයෙන්ම සෝම හාමුදුරුවන්ගේ මැදිහත් වීම ඒකට ලොකු හේතුවක්. පුද්ගලිකව මගේ වුනත්   දේවියන් පිළිබඳ තිබුණ විශ්වාසය නැති වෙන එක පටන් ගත්තේ එතනින්. ඒත් පස්සේ කාලේක නලින්ද සිල්වා ඇතුළු සෙට් එකේ වැඩත් එක්ක ආයේමත් මිනිස්සුන්ගෙ ඔලු කන්න පටන් ගෙන.කොච්චරද කිව්වොත්  වැස්සත් එක්ක වැඩ කරන්නට වෙන  ලංකාවේ සමහර දෙපාර්තමේන්තුවල ඉන්න ඉංජිනේරුවරු අධ්‍යක්ෂකවරු පවා වැස්ස බලාපොරොත්තුවෙන් වැහි පිරිත් කියද්දි දේව කන්නලව් කරද්දි රටේ මිනිස්සු හැටියට අපට වගකීමක් තියෙනවා මේවගේ මිත්‍යාවන් පස්සේ උගතුන් බුද්ධිමතුන් පවා යන එක හෙළා දකින්නට ප්‍රශ්න කරන්නට. ඒක කරන්නට හොඳම විදිය තමයි මේ දෙවියන් කියන විෂය පුලුවන් තරම් සාකච්ඡාවට අරගෙන මේක හාස්‍යයට ලක් කරන එක. මොකද මිනිස්සු මේ තරම් දෙව්යන්ව විශ්වාස කරන්නේ ඔවුන්ගේ අසරණ කමටත් වඩා බය නිසා.
        
        පහළ තියෙන ෆොටොස් ටික බැලුවොත් ඒවා screenshots ගහල තියෙන්නේ බුද්දක නිකායේ එන විමාන වත්ථුවෙන්. ඒක මහමෙව්නාවේ සංස්කරණය.එතනදි දෙවියන් දිව්‍යංගනාවන් ගැන කතා ගොඩාක් තියෙනවා . ඒක හරියට interview එකක් වගේ. මොග්ගලිපුත්ත තෙරුණ් එක එක දෙවිවරුන්ගෙන් දිව්‍යාගනාවන්ගෙන් අහනවා ඔබ ඇයි මෙහෙම ඉන්නේ. මොනව කරාටද මෙහෙම දිව්‍ය සැප සම්පත් ලැබුණේ කියලා. මං මේකේ උපුටා ගත්තේ දෙව්යන්ගේ වාහන සම්බන්ධව තිබෙන දේවල්. මොග්ගලිපුත්ත තෙරුන් එක දෙවියෙක්ගෙන් අහනවා
" ඔබේ මේ ඇත් වාහනය උත්තම එකක්.නොයෙක් මැණික් වලින් මේ ඇතාව සරසලා තියෙන්නේ.හරිම සිත්කළුයි. ශක්ති සම්පන්නයි.වේගවත් ගමනක් තියෙන්නේ අහසින් ගමන් කරන්නේ........ "  
  අන්න එහෙම ඒ කතාව ඇදෙනවා. මට තියෙන ප්‍රශ්නේ යකෝ දෙවියොත් තාම යන්නේ ඇතාගේ පිටේද  කියන එක.අනෙක අහසින් යන ඇතෙක්.ගමරාළ අලියගේ වලිගෙ එල්ලිලා දිව්‍යලෝකේ ගියා කිව්වම මිනිස්සු හිනාවුනාට ඒ මින්ස්සුම මේවා පිළිගන්නවා. පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් අද කාලේ පුද්ගලික ගුවන්යානා, ලිමොසින් ,නැව් පවා තියෙන මිනිස්සු ඉන්නවා . එතකොට සැබෑ දෙවිවරු කව්ද, තාමත් ඇතා පිට යන කෙනාද මෙහේ සුපෝගබෝගි විදිහට ඉන්න කෙනාද?⁣එක්කො දෙවිවරු eco friendly ජීවත් වෙනවා ඇති. නැත්නම් මිනිස්සු පරිකල්පනයේ දියුණුවෙන් හදන දේවල් දෙයියොත් කොපි කරනවද දන්නෙත් නෑ. මොකද ඒ යුගයේ රජවරු ඇමතිවරු ඇතාගේ පිටේ යද්දි සමහර දෙවිවරන්ටත් තිබිලා තියෙනනේ ඒ පහසුකම්මයි ඊට වඩා ඩෙල්ටා ප්‍රමාණයක් වැඩිපුර. මගේ පුද්ගලික අදහස මේකයි එක්කෝ මොග්ගලිපුත්ත තෙරුන් හරි විමාන වත්තු වලට මේ කතාව ලියපු කෙනා කල්පනා කරල බලන්න ඇති ඒ කලේ රටේ සමෘද්ධිමත්ම පුද්ගලයා වෙච්ච රජ්ජුරුවෝ ගමන් කරන්නේ ජීවත් වෙන්නෙ කොහොමද කියලා , ඊට පස්සේ ඒ ගමන් කරන විදියම ඊට වඩා චුට්ටක් ඇඩ්වාන්ස් කරලා දෙවියන්ට apply කරලා. ඒ කියන්නේ ඇතාට මුතු මැණික් අන්දවලා. මල් මාලා දම්මවලා , ඇතාගේ පාට පොඩ්ඩක් වෙනස් කරලා වගේ දේවල්. ඒ යුගයේ මිනිස්සුන්ට ඒ දේවල් ඇත්ත වගේ පෙනුනට තාමත් දෙව්යො ඇතාගේ පිටේ යනවා කිව්වම ටිකක් අවුල්. අනික දෙව්වරු අපි වගේ පරිණාමය වෙනවා කියලා අහල තියෙනවැයි? නෑනේ.
 
     කතාව ඉවර කරන්නම් මෙහෙම දෙවිවරු කියන්නෙ මිනිස්සුන්ගෙ පරිකල්පනයෙම නිර්මාණයක්. සමහර තැන් වලදි  අහිංසක නිර්මාණයක්  සමහර තැන්වලදි රෞද්‍ර ප්‍රකාශනයක්. දෙවිවරු කියන්නේ මිනිස්සුන්ගෙ දුර්වලකම එළියට එන තැනක්.දෙවිවරු කියන්නේ game එකක level එකක් වගේ මිනිස්සුන්ට යන්න තියෙන වඩා හොඳ level එකක්. පෘථිවියේ superior මිනිස්සු. අපි කැමති වුනත් නැතිවුනත් ඇත්ත ඒක. මේ ලොකේ ප්‍රශ්න විසඳන්න වෙන්නේ මේ superior වෙච්ච මිනිස්සුන්ටම මිසක් ලොවෙත් නැති දෙවිකෙනෙක්ට නොවෙයි. මිනිස්සුන්ට තමන්ට ඉහළින් කවුරුහරි නෑ කියන එක දැනගත්තම ලොකු හිස්කමක් තනි කමක් දැනෙනවා.දුක කියන්න කවුරුත් නැත්වෙනවා. මේ තනිකම හිස්කම පාළුව මකන්න ආපු පිළියම තමයි දෙව්යා. අපි හිතන් ඉන්නවා අපේ ප්‍රශ්න දෙව්යො විසඳයි කියල.හිතුවට එයා විසඳන්නෙ නෑ. එයා එන්නෙත් නෑ. මොකද එහෙම කෙනෙක් නැතිනිසා. තේරුම් ගන්න. අපිට අපි විතරයි.

1 comment:

  1. මං කැමති, ඕඩින්, තෝර්, බෝල්ඩර්, ලෝකි etc
    ඊට පස්සෙ සියුස්, පොසෙඩයින්, හේඩීස්, ඇපොලෝ, හෙෆයිස්ටස්, ඇතීනා etc සහ
    ඒ පැන්තියන් එකට සමාන්තරව යන ඉන්ද්‍ර, යම, වරුණ,විශ්වකර්ම etc.

    ReplyDelete