Sunday, October 8, 2017

දළ රළ පෙළ ඉදිරියෙන්

කතාව 01
ඉදිකිරීම් බිමේදි හමුවු හීන්දැරි කුඩා මුස්ලිම්  තරුණයෙකි. සති ගණනකට පසු දුටු හෙයින්
"කොහෙද ගිහින් හිටියේ"
යැයි මම විමසුවෙමි.
"ඉස්කෝලේ ගියා මහත්තයා "
කුඩා මිනිසාගේ පිලිතුර විය.
"එතකොට අද ආවේ" මම විමසුවෙමි.
"ඉස්කෝලේ යන එක නතර කරා මහත්තයා"
ශරීර ප්‍රමාණය මත ඔහු 10-11වසරවල ඇතැයි මම සැක කළෙමි.
"කීය වසරෙද මල්ලි" සැකය තහවරු කරනු පිණිස ඇසුවෙමි.
"A/L මහත්තයා"
"ඉතින් අපරාදෙනේ. මොනවද O/L රිසාල්ට් ?"
"A3 යි C3යි"
"Maths වලට?"
"C මහත්තයා"
"අපරාදෙනේ දිගටම ඉස්කෝලේ යන්ඩ"
මම පැවසුවෙමි. කර්කශ පරිසරයක ජීවත්වන කුඩා මිනිසා එයට මුහුණ දීමට හිතා ගෙන තිබෙන හැටියකි.ඉදිකිරීම් වැඩබිම සැමදා පවතින්නේ නැත.මුහුදු යෑම හෝ හේනක් කිරීම අනාගතයේ ඔහුට උරුම වන සෙයකි.ඔහු දැනටමත් ලබා ඇති o/l  ප්‍රතිඵලය මත තාක්ෂණ විද්‍යාලයකට ඇතුලත් වී මෙවැනිම ඉදිකිරීම් වැඩබිමක supervisor කෙනෙක් වීමට ඔහුට අවකාශ ඇතත් අයහපත් ආර්ථිකය, නොදැනුවත්කම ඔහුව නොහැකි මිනිසෙක් කරනු ඇත.ඉදිරියටත් ඔහුව පාසල් යෑමට පෙළඹවීමට සිතා ගත්තෙමි.
"මචං මම එහෙම මේ පැතතෙ ජීවත් වෙලා ඉගෙන ගන්ඩත් බැරිවුණා නම් අම්මපා මේ අව්වේ කට්ට කනවට වඩා මහණ වෙනවා බං"
ළඟකදි මම මිතුරෙකුට පැවසුවෙමි.එය එතරම් කටුක පරිසරයකි. අනාගත රළු ජීවිතය පිළිබඳ  ඉහත කුඩා මිනිසාට තවමත් තේරැම් ගැනීමට තරම් අත්දැකීම් නැති බවකි.
කතාව 02
මම මීට පෙර වැඩකළ වැඩබිමකදි මා යටතේ සේවය කල කම්කරුවෙක් දිනක් මා හට අත්අකුරින් ලියූ සටහනක් ලබාදුණි.
" සර් මට bio data එකක් හදල දෙනවද"
Cv, resume පවතින යුගයක තවමත් ඔහු ඉල්ලන්නේ biodata එකකි. Type කීරීමට ඇති කම්මැලිකමත් සමඟ ඇති නොරිස්සීමත් සමඟින් "මොකටද biodata එකක් "
මම විමසුවෙමි.
"රට යන්න සර්"
"හා තියල යන්ඩකෝ වෙලාවක් තිබුණොත් type කරල දෙන්නම්"
ඔහු ගිය පසු මම එම කඩදාසිය  දිග හැර බැලුවෙමි. පැරණි විෂය නිර්දේශයට අනුව එහි D සහ C පෝලිමක් විය. A/L ප්‍රතිඵලයක් නැත.නැවත ඔහු හමුවන විටෙක මම ඔහුගෙන් ඒ ගැන විමසුවෙමි.
"A/L කරේ නැද්ද අපරාදෙනේ"
"නෑ සර්, ආර්ථික ප්‍රශ්නනේ"
ඉතාම පහසුවෙන් ජීව විද්‍යා හෝ භෞතික විද්‍යා අංශයෙන් උසස් පෙළ කළ හැකිව තිබූ ඔහු අද කම්කරු රැකියාවක් කරයි.ඔහුට cv එක හදාදීමට මට අතපසු විය. දිනක් ඔහු ප්‍රමාද වී වැඩට පැමිණියේය.
"මොකෝ පරක්කු ?" මම ඇසුවෙමි
"රට යන්ඩ interview ගියා සර්"
  දැන් ඔහු කොහේදැයි මම නොදනිමි. හිත හොඳ  මිනිසෙකු වූ බොහෝවිට ඔහු රට යන්නට ඇත.
කතාව 03
මම කලකට ඉහත වැඩ කළ ඉදිකිරීම් බිමකදි හදිසියේම මා හට අප ආයතනයේ stores  එක වෙන තැනකට මාරු කිරීමට සිදුවිය. වැඩ අධික බැවින් ඒ සඳහා කම්කරුවෙකු පිටතින් ගැනීමට මම මිතුරු ඉංජිනේරුවකුගේ සහය පැතුවෙමි.
"මචං කොල්ලෙක් ඉන්නවා දවසකට 1000ක් දීපන්. "
මම එකඟ වුනෙමි.
"මචං වැඩට එන කොල්ලගෙන් අහන්ඩ එපා. ඌ කැම්පස් එකෙක්. දැන් කැම්පස් යන්නෙ නෑ කුලී වැඩ කරනවා බං.ඌ රැග් එකත් ඉවර වෙනකල් ඉඳල. ඊ්ට පස්සෙ අයින් වෙලා. උගෙ තාත්තා නැතිවෙලා බං පොරතමයි නංගිලාව ඉස්කෝලේ යවන්නෙ"
ඊළඟ දිනයේ ඔහු වැඩට පැමිණියේය. ජංගම දුරකතනයේ handfree එක කනේ ගසා ගත් ඔහු යන්ත්‍රයක් සේ වැඩ කරන්නට විය.ඉඩක් ලැබූ වෙලවක ඔහු මා හා දොඩමළු විය.
"මහත්තයා ගෙවල් කොහෙද?"
"මම පේරාදෙණියෙනේ" මම පැවසුවෙමි
"මාත් වෙලාවකට පේරාදෙණියේ යනවා"
"ඒ මොකෝ ගොඩක් දුරයිනේ" මම පැවසුවෙමි
" GF පේරාදෙණිය කැම්පස් එකේ සර්"
ඔහු ඉහළ rank එකක් සමඟ කැම්පස් ගිය බවක් මා හට   පැවසූවේ නැත.  මා දන්නා බවක්ද නොහැඟුවෙමි.තනිකඩ තරුණයෙක වූ ඔහු දැනටමත් පවුල් බර කරට ගෙන ඇත.
මේ මට හමුවු මිනිසුන් කිහිපදෙනෙකි. අනාගත රළු ජීවිතය පිළිබඳ දැන හෝ නොදැන ඔවන් රළු තීරණ ගෙන ඇත. එම තීරණ හරිද වැරදිද යයි විනිශ්චය දීමට අප දෙවියන් වහන්සේ නොවෙමු .

2 comments: