Friday, October 6, 2017

කණේ පහරක සුවය හයේ පාරක නෑ

   ඒ 1997 වසර . එවකට මම හතර වසරෙ සිසුවෙක්. ඉස්කෝලේ ඇරුනම බස් එක එනකල් ඉන්න බස් ⁣හෝල්ට් එක ළඟ පොලිස් මුරපොළක් තිබුණා. දවසක් නුවර ඉඳන් එන බස් එකක් එතන නතර කරල බස් එකේ හිටපු මිනිහෙක්ව බාර දුන්න පොලිසියට. බීල හිටපු මනුස්සයෙක්. පොලිස් මහත්තයා දුන්නා කණේ පාරක්. අර මනුස්සයා බිම වාඩි වුනා. තුවක්කුවක් අල්ලන් ඉන්න අතකින් වැදුණු දරුණු ප්‍රහාරයක්. මට ඒ මනුස්සයා ගැන දුකක් හිතුනා.අවුරුදු 45 ක පමණ මනුස්සයෙක්. සුදු සරමකින් සැරසුනු අසරණයෙක්.පාසල නිමවූ ගුරුවරියන්, පාසල් ළමුන් ඉස්සරහ නිල ඇඳුමෙ බලය පෙන්නුවා හැරෙන්න වෙනයමක් එම නිලධාරීයගේ තිබුණේ නෑ. මට හිතෙන්නේ එම පහර දීමෙන් අර බීපු මනුස්සයාටත් වඩා බලන් හිටපු කුඩා ළමුන් අපහරණය වුනා.

   ඒ 1999 වර්ෂය.මම  පාසල නිමවී ගෙදර එමින් සිටියා. "කොටි දෙන්නෙක් අල්ලලා" ගමේ ලොකු කලබලයක්. අපේ ගමේ කොටසක දෙමළ මිනසුන් ජීවත් වෙනවා.ඒ පැත්තට ආපු දමිළ තරුණයෝ දෙන්නෙක් අල්ලලා. ටික වෙලාවකින් පොලිස් මහත්වරු දෙන්නෙක් ආවා. කණ පුරෝවල දුන්නා පාරවල් දෙකක්. කොහෙද කියල ඇහුවම කොළඹ ලු. ටිකකින් උන් දෙන්නට දිව උස්සන්ඩ කියල දිව යට බලපු පොලිස් මහත්වරු දෙන්නා අර යක්කුන්ගෙන් අහුවා තොපි කුඩු ගහනව නේද කියල. කුඩු ගහන උන්ගෙ දිව යට කහ පාටලු. යාලුවොත් එක්ක ගහනවා සර් කියපු උන් දෙන්නව පොලිසියෙන් අරන් ගියා. පස්සෙ ආරංචියක් ආවා උන් දෙන්නා බුද්ධි අංශයේය. දළදා මාලිගා බෝම්බ ප්‍රහාර investigation එකකට ඇවිල්ලය කියල. ඇත්තද දන්නෑ

  ඒ 1999 වර්ෂය. මම හය වසරෙ.ශිෂ්‍යත්වෙ පාස් වෙලා නුවරට ආපු අවුරුද්ද.ගියාට පස්සෙ තමයි තේරුණේ ගමේ ඉස්කෝලේට වඩා නුවර ඉස්කෝලේ manners කියල දේවල් තියෙනවය කියල. ගුරුවරයෙක් එක්ක කතා කරද්දි අත් දෙක පිටුපස්සට කරල කතා කරන්ඩ ඕනේ. පන්තියට එද්දි ගුරුවරයෙක් උගන්නනවා නම් excuse කරලා එන්න ඕනේ ආදිය. දවසක් අපි සෙට් එකක් පන්තියට එද්දි කලුගම්පිටිය සර්සෞඛ්‍ය උගන්නනවා. කීපදෙනෙක් excuse කරල වාඩිවුනා. මායි අලුතෙන් ආපු තව කොල්ලෙකුයි ගමේ ඉස්කෝලේ පුරුද්දට නිකන්ම ගිහින් වාඩිවුනා. සෞඛ්‍ය ගුරුතුමා අපි දෙන්නටම එන්න කිව්වා. චටාාාාස්. කම්මුල පුපුරු ගැහුනා. "මම අකමැති දේවල් කරන්ඩ එපා." ඒ ගුරුතුමාගේ වචන. ගුට්කාපු හේතුවත් නොදන්න අරුයි මායි ගිහින් වාඩි වුනා. " ආයේ පරක්කු  වෙලා එද්දි excuse කරල ⁣වරෙන්" ළඟ හිටපු එකෙක් කාල පරිච්ඡේදය ඉවර උනාම  කියල දුන්නා.

2 comments:

  1. අපරාදේ අනික් කනටත් දුන්නනා නම් බැලන්ස් වෙන්න තව පොඩි ආතල් එකක් බලන්න තිබුනා

    ReplyDelete
  2. කනා පාරවලුත් නරකම නෑ. මේ ආංඩුවත් කනා පාරවල් ගහල හාල් මැස්සන්ව අල්ලන්නෙ ‍තෝරු මෝරු ඉඳිද්දි.

    ReplyDelete